Tag Archives: මහනුවර

මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය

කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය- එච්. ජී. දයාසිසිර
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
මිළ- රුපියල් 525.00

මහාචාර්ය ඔබේසේකර සහ කථිකාචාර්ය එච්. ජී. දයාසිසිර

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී. දයාසිසිර විසින් සිංහල බසට නගා පල වී ඇත.මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් ඉංග්‍රීසි බසින් රචිත දහයකට අධික කෘති අතරින් සිංහල බසට නැගුණ ප්‍රථම හා එකම කෘතිය ද මෙය වේ.

මහාචාර්ය ඔබේසේකර ඔහුගේ අන් බොහෝ ශාස්ත්‍රීය මැදිහත් වීම් වල දී මෙන්ම මෙහිදී ද ඉතිහාසය ලිවීම පිළිබඳ බාරදූර ගැටලුව යළි මතු කරයි. ලාංකික ඉතිහාසය මෙන්ම ජනප්‍රිය ඉතිහාසය තුළ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ භූමිකාව නිරූපණය වන ආකාරය ගැටලුවට ලක් කරන ඔබේසේකර ඉතිහාසකරණයේ මූලාශ්‍ර ඒවායේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තුළ පිහිටුවා අවබෝධ කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. එමෙන්ම මෙහිදී ප්‍රශ්න කෙරෙන්නේ යටත් විජිත බල ව්‍යාපෘතියේ සමාජ දේශපාලන ගම්‍යමානයන් නොසලකා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාසය සත්‍යයක් සේ බාරගැනීමේ ගැටලුවයි. කෲර දුර්දාන්ත රජෙක් ලෙස ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසගත ප්‍රතිරූපය යටත් විජිත ව්‍යාපෘතිය යුක්තියුක්ත කරණයෙන් නිදහස්ව අවබෝධ කරගත නොහැක බව ඔබේසේකර අප හමුවේ ගෙන හැර පායි. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ ප්‍රගතිශීලී, විමුක්තිදායක කාර්යක් සේ ඉතිහාසය තුළ ස්භාවිකකරණයට ලක්ව ඇති උඩරට රාජධානිය කුරිරු රජෙක් ගෙන් මුදාගැනීම පිළිබඳ ඉරණම්ගත චිත්‍රය උඩියටිකුරු කරන සාක්ෂි හා ගැටලු ඔබේසේකර අප හමුවේ තබයි. ඇහැලේපොල පවුලේ සාමාජිකයන් කුරිරු දඬුවමකට ලක් කිරීමේ ඉතිහාසගත කතන්දරයේ යටත් විජිත සම්භවය ඔබේසේකර හෙළිදරව් කරයි. තවද, සිංහලයා පිළිබඳ මුල් පුරාවෘත්ත හා බැඳි ඓතිහාසික යමක් සේ ගැනෙන වර්තමාන ජාතික කොඩියේ එන කඩුව රැගත් සිංහයාගේ සංකේතයේ නූතන බටහිර සම්භවය විචාරශීලී ලෙස මෙම කෘතියේ සාකච්ඡාවට ගෙන තිබේ. සැබැවින්ම, ලංදේසි යුගයේ පහත රට ප්‍රදේශ වල භාවිතා වූ මෙම සිංහ ධජය බ්‍රව්න්රිග් ආණ්ඩු කාරයා 1815 දී ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී ප්‍රථම වරට උඩරට ඔසවා තබන්නේ පහත රට ප්‍රදේශ නියෝජනය කිරීමට බව ඔබේසේකර පෙන්වා දෙයි.

මහාචාර්ය රජීව් භාර්ගවා මෙම කෘතිය පිළිබඳ සඳහන් කරමින් පෙන්වා දෙන්නේ “ම්ලේච්ඡ රජෙක් පිළිබඳ ප්‍රතිරූපයක් සූක්ෂම ලෙස නිමවා, සාමූහික විඥානය විශේෂයෙන්ම යටත් විජිත වැසියන්ගේ එනම් උගත් ශ්‍රී ලාංකිකයන්ගේ සිතුවිලි ග්‍රහණයට ගෙන ලිබරල් සනශීලීත්වයේ ප්‍රතිමූර්තියක් සේ පෙනී සිටින යටත් විජිත වාදීන්ගේ දුෂ්ට අතීතය යටපත් කල ආකාරය” ඔබේසේකර ගෙන හැර පාන බවයි. ජෝන් රොජර්ස් පෙන්වා දෙන්නේ “මෙම කෘතිය අධිරාජ්‍ය ව්‍යාප්තිය යුක්ති යුක්තකරණයට මුල් කාලයේ ගොඩ නංවන ලද දැනුමේ චිරස්ථායි පැවැත්ම පිළිබඳ නිදර්ශනයක් සපයන බවයි.”

යටත් විජිත තත්වයෙන් නිදහස ලබා අඩ සියවසකට අධික කාලයක් ගෙවී ඇතත් අපගේ ඥාන පද්ධතීන්, චින්තනය යටත් විජිතහරණය කිරීමේ දුෂ්කරතාවය පිළිබඳ එක් කථාවක් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසය වෙත මහාචාර්ය ඔබේසේකරගේ යළි පිවිසීමෙන් උගත හැකි පාඩමකි.
සියළු ශ්‍රී ලාංකිකයන් කියවිය යුතු කෘතියක් වන මෙය ඉතා කෙටි කලකින් සිංහල බසින් කියවන්නන් අතරට ගෙන ඒමට මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙන්ම මෙහි පරිවර්තකයා වන කථිකාචාර්ය එච්. ජී. දායාසිසිර කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීය වේ.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක් වන අතර ඔහු කලක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ද, ඇ.එ.ජ. යේ සන් ඩියගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ද සේවය කර ඇත.මානව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන බුද්ධිමතෙකු වන ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයකට අධික වන අතර සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. ඔහුගේ පර්යේෂණ සහ කෘති බොහොමයක් ලාංකික සාමාජය පිළිබඳව වන අතර මේ වන විට 1818 අරගලය පිළිබඳ ඔහුගේ කෘතිය නිම කරමින් සිටියි.

එච්. ජී. දයාසිසිර වෘත්තියෙන් පුරාවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වන අතර මහාචාර්ය ඔබේසේකර ගේ පර්යේෂණ සහායකයෙකු ලෙස ද කටයුතු කරයි.

එම කෘතියේ දරුවන් වංගෙඩියේ කෙටවීමේ කතාව යලිආවර්ජනය නම් කොටස මෙහි පල කරමු.

Continue reading මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

Advertisements

මහනුවර යුගය වන විට ප්‍රාසාංගික කලාවන් දියුණු‍යි – නදීක ගුරුගේ

ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“….1818 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම කැරැල්ල ඇරඹිණි. එම වර්ෂයේදීම මහනුවර අවසාන රජුගේ නෑයෙකු සිහසුනට උරුමකරුවෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු තම පිරිවර ද සමග දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි (හින්දූන්ගේ ද බෞද්ධයින්ගේ ද වැද්දන්ගේ ද දෙවියෙකු වන) කතරගම මුරුගන් දේවාලය වෙත ගියේ ය. එහි පූජකයා විසින් මෙම රාජ්‍ය උරුමක්කරුට කඩුවක් හා අනෙකුත් මෙවලම් ද ලබා දෙන ලදී. ඉන්පසුව මොහු කුලීන බණ්ඩාර වැද්දෙකු වූ ද මහනුවර රාජධානියේ වැදගත් නායකයෙකු වූ ද කිවුලේගෙදර මොහොට්ටාල මුණ ගැසී ඇත. ඔහු තවත් වැද්දන් දෙසීයක් සමග බ්‍රිතාන්‍ය විරෝධයට නායකත්වය සැපයි ය. රාජ්‍ය උරුමක්කරු වැදිරටේ සඟවා තැබුණු අතර වැද්දන් විසින් ආරක්ෂා කරනු ලැබිණි. මෙම රාජ්‍ය උරුමක්කරු විධිමත් ලෙස රාජ්‍යත්වයට පත්කරන අවස්ථාවේ දී අදාළ පූජාවිධිවලට ද බෞද්ධ මහනුවර නායකයින් සමග වැද්දන් ද සහභාගි වී ඇත. මෙම අවස්ථාව පෝල් ඊ. පීරිස් නම් ඉතිහාසඥයා විසින් උඩරට විරෝධය පිළිබඳව ද විස්තර කරමින් 1950 දී ලියන ලද ‘සිංහලේ හා දේශප්‍රේමියෝ’නම් කෘතියේ හැර අනෙක් සාමාන්‍ය ඉතිහාස ලේඛන විසින් අමතක කර දමා ඇති බව පෙනේ. ඇත්තවශයෙන් ම සිංහලයෝ සහ වැද්දෝ යන දෙගොල්ලෝ ම බ්‍රිතාන්‍යයන්ගේ සාහසික මර්ධනයට අතිශයින් ම ගොදුරු වූහ…..” Continue reading ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර