Tag Archives: මහින්ද රාජපක්ෂ

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ සමාජීය ඉංජිනේරුවාට සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත..පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි,The Political Ideas of Leo – Strauss

1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් ආරක්ෂිත පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව කළාලය යටට අතුගා දැමීමට ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.

Continue reading නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

Advertisements

විරුද්ධ මත දරන්නන් තර්ජනයෙන් ගර්ජනයෙන් බිය වැද්දීම ලිච්ඡවි රජ දරුවන්ගේ ක්‍රමය වීද?

අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුමක් පිළිබඳ සමාජයේ විවිධ වෘත්තීයමය කොටස් වෙතින් එල්ල වෙමින් පවතින විරෝධතා මැඩ පැවැත්වීම සඳහා සටන් වැද සිටියි. තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් සමබබන්ධයෙන් එල්ල වන විරෝධතා වෙනුවෙන් පිළිතුරු දීමට අගමැති ට අයිතියක් තිබේ. නමුත් එසේ කිරීමේදී එම විරෝධතා සංවිධානය කරන්නන්ට තර්ජනය කරමින් ඔවුන් බියවද්දා නිහඬ කිරීමට උත්සාහ කිරීම විසම්මුතියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්ධනය කිරීමකි.

“ නමුත් මේ ගමන නවත්වන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. සියලූම කඩාකප්පල්කාරීන්ට මුහුණදීමට අප සූදානම්” යැයි කීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන අගමැතිවරෙයකුගෙන් අපි අපේක්ෂා නොකරමු. මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කළේ තමන් කල් තබා හිතාගත් ගමනක් කොතරම් ජනතා විරෝධයක් හමුවේ වුව නොනවත්වා තමන් කැමති ආකාරයට යන්නට නොවේ. ඊට විරුද්ධ වන්නවුන් කඩාකප්පල්කාරීන් ලෙස හැඳින්වීමෙන් ම ඔවුන් කඩාකප්පල්කාරීන් බවට පත්වන්නේ නැත. ඔවුන් කඩාකප්පල්කාරීන් යැයි ජනතාවට ඒත්තු ගැන්වීම ද අවශ්‍ය කෙරෙයි.

මෙහිදී “ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවෙයි” යන්න ප්‍රජාතන්ත්‍රවාදය අගයන අගමැතිවරෙයකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රකාශයක් නොවේ. මෙරට අන් ඕනෑම පුරවැසියන්ගේ සංවිධානයකට මෙන්ම වෛද්‍ය නිලධාරීන්ටත් රටේ දේශපාලනය වෙනුවෙන් මැදිහත් වීමේ පූර්ණ අයිතියක් තිබේ. වෘත්තියමය සංවිධාන ජාතික වැදගත්කමක් ඇති කරුණු වලට මැදිහත් වීම ඔවුන් දේශපාලන සංවිධාන ලෙස ලේබල් අලවා මර්ධනය කරන්නට හේතුවක් කර නොගත යුතුය. එමෙන්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් “කඩේ යෑම”ද කිසියම් සංවිධානයක් මර්ධනය කිරීමට හේතුවක් කොට නොගත යුතුය. ඔවුන් කරන කියන දෙයෙහි හරි වැරදි එහි සාමාජිකත්වය විසින් සහ සෙසු සමාජය විසින් තීරණය කළ යුත්තක් මිස රජය විසින් තීරණය කළ යුතු දෙයක් නොවේ.

“ අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තා.” යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තම මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ දේ පිළිබඳ ය. මෙය දේශපාලනඥයන් විශ්වාස කරන මිත්‍යාවකි. ජනතාව මැතිවරණයකදී ඡන්දය දෙන්නේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් සියලු දේ සළකා බලා ඒවා සියල්ල එකින් එක අනුමත කරමින් නොවේ. 2015 අගෝස්තු 17 දා මැතිවරණෙයන් රනිල් වික්‍රමසිංහට අගමැති වීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ පිළ යළි මෙරට බලයට එනු දකිනු නොරිසි වූ විශාල ජනකායක් මහින්ද පිළට එරෙහිව පාවිච්චි කළ විරෝධතා ඡන්දයක ප්‍රථිඵලයක් වශෙයන් බව රනිල් වික්‍රමිසිංහ වටහා ගත යුතුය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙන්නේ කවුරුන්දැයි අගමැති හෙළි කළ යුතුය. එම පැමිණිල්ල විභාග කිරීම සාධාරණ ආකාරයට කෙරන බවට අගැමැති රටට සහතියක් දිය යුතුය. තමන් ගේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට විරුද්ධව කටයුතු කරන නිසාම වෘත්තීයමය සංගමයක නිලධාරීන් ඇම්බැට්ටයන් යැයි කීම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන රජයක අගමැති ට තරම් නොවේ. රාජපක්‍ෂ රෙජීමයෙන් යම් යම් කොටස් සියලුම වරප්‍රසාද ලබා ගත්තාසේම රනිල් වික්‍රමසිංහ ගේ රෙජිමෙයන් ද වරප්‍රසාද ලබා ගන්නා කොටස් නැතිද?

“ අප මේ සියලූම දේ වෙනස් කරනවා.” යන්න අගැමති රනිල් වික්‍රමසිංහ ගේ බලාපොරොත්තුවයි. වෙනස් කිරීම කළ යුත්තේ වෙනසට ලක් කෙරෙන අය ඒ සඳහා දිනා ගැනීමෙන් එකඟ කරවා ගැනීමෙන් මිස ඔවුන් සතුරන් ලෙස සළකා ඔවුන් මර්ධනයෙන් නොවේ. වෛද්‍යවරු හැම දෙයකටම වර්ජනය කිරීම අපිත් අනුමත නොකරමු. නමුත් ඔවුන්ගේ දේශපාලන අයිතීන් මර්ධනය කොට ඔවුන් බිත්තියට හේත්තු කරන්නේ නම් ඊට එරෙහි ඔවුන් ගේ වර්ජන ක්‍රියාමාර්ග යුක්ති යුක්ත වනු ඇති බව ආණ්ඩුව දත යුතුය. එය තමන්ට පක්ෂ පාතී කණ්ඩායමක් ඒම වෘත්තිය තුළ හදා ගැනීමෙන් ජයගත හැකි යැයි සිතීම ඒතරම් නුවණැති දෙයක් නොවේ.

“ “ඩේලි මිරර්” පත්‍රයේ ඔක්කොම කට්ටිය එදා රාජපක්‍ෂලා එක්ක ගියා” යැයි කීමෙන් ඔවුන්ගේ කට වැසීමට උත්සාහ ගැනීම සාධාරණිකරණය වන්නේ නැත. කේසර අබේවර්ධන කර්තෘ කම කරන පත්තරයේ ඔහු ලියන දේ ගැන විනිශ්චය කළ යුත්තේ එම පත්තරය කියවන පාඨකයන් මිස දේශපාලනඥයන් නොවේ. මාධ්‍ය ගැන කියමින් “ අලුත් රාමුවට අනුව හැදෙන්න මම කාලය ලබා දී තිබෙනවා. එහෙම හැදෙන්න බැරි නම් බොරු නොලියා කේසර අබේවර්ධනටත් ගෙදර යාමට අවස්ථාව තිබෙනවා. මේවාට ඉඩ දෙන්න අප ලෑස්ති නැහැ” යි රනිල් වික්‍රමසිංහ කියන විට මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ නොව ඒකාධිපතියෙකු වන්නට කැස කවන්නෙකුගේ රුවකි. රනිල් වික්‍රමසිංහ කියන “අලුත් රාමුව” කුමක් දැයි පැහැදිළි නැත. එය තීරණය කරන්නේ කවුරුන්ද යන්නත් පැහැදිළි නැත. කේසර අබේවර්ධන ගෙදර යැවීම ගැන සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ කරන්නේ තමන් ගේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපන තැනට කටයුතු කරනවා යන්න නම් එය ඔහු අනුයන්නේ යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත සහමුලින්ම උල්ලංඝණය කිරීමකි. මේ අදහසම ඔහු දෙරණ ගැන කරන විවේචනයටත් අදාළය. “දෙරණ නැවතත් රාජපක්‍ෂලාට කඩේ යනවා නම් ඒ අය හොරකම් කරපුවා අපට කියන්න පුලූවන්” යැයි රනිල් වික්‍රමසිංහ කියන විට ඉන් පෙනී යන්නේ දෙරණ කළ හොරකම් රනිල් දන්නා නමුත් ඔහු ඒවා දැනට නොකියා ඉන්නා බවත් ඔහු ඒවා දෙරණ රාජපක්ෂලාට කඩේ යන එක වළක්වා ගැනීමට තුරුම්පු වශයෙන් යොදාගනිමින් සිටින බවත්ය. මෙය කිසිසේත්ම යහපාලනය රටට දේශනා කරන්නෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන හැසිරීම නොවේ.

“ මේවා හැදෙන්න අවශ්‍යයි. හැදිල එන්න බැරි නම් අපත් ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජනතාව දුන් වරම නැවත කඩාකප්පල් කිරීමට නැවත මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ” යැයි රනිල් වික්‍රමසිංහ කරන්නේ තර්ජනයකි. මෙලෙස ක්‍රියාකරන්නට ජනතාව තමන්ට වරමක් දුන්නේ යැයි රනිල් වික්‍රමසිංහ සිතීම මුලාවකි, අභාග්‍යයකි. ජනමාධ්‍ය ගැන විවේචනය කිරීමට රනිල් වික්‍රමසිංහට අයිතියක් තිබේ. නමුත් ජනමාධ්‍ය ඔවුනට අවශ්‍ය පරිදි හදාගන්නට තම අගමැති තනතුරේ බලය යොදාගැනීමට අගමැතිට මෙරට ජනතාව වරමක් දුන්නේ නැත. අගෝස්තු 17 දා රනිල් බලයට ගෙන ආ ජනතාව හුදෙක් රස්සා ලබා ගැනීම සඳහා ඔහු බලයට පත් කෙළ් යැයි සිතීම මෙරට තරුණ පරපුරට කරන අපහාසයකි. බහුතරයේ ඡන්දය ලැබූ පමණින් සුළුතරයේ දේශපාලන අදහස් මර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. තම පාක්ෂිකයන් සමග පාරට බැසීමට ද රනිල් වික්‍රමසිංහට අයිතියක් ඇත. නමුත් ජනතාව තම දේශපාලන අයිතිය රැස්වීමෙන් උද්ඝෝෂණ කිරීමෙන් ප්‍රකාශ කරන විට ඊට එරෙහිව උසාවි තීන්දු ගැණීම ප්‍රජාතන්ත්‍රවිරෝධී වන්නා සේම ඒවාට එරෙහිව සෙනග දස ගුණයක් ගෙනත් පෙන්වීම ෆැසිස්ට්වාදයට අත වනන්නක් මිස ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී විසිනි

නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර

වීරයන් පතන දේශය අසතුටින් යැයි බර්ටෝල්ට් බ්‍රෙක්ට් තම කවියක ලීවේය.
මෙම අදහස වත්මන් ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කොට ‘නායකයන් පතන දේශය අසතුටනි‘ යැයි කියන්නට කැමැත්තෙමි. මන්ද යත්, අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මහජනයා අතර පැතිරෙමින් පවතින්නේ ‘අපට නායකයන් නැතැ‘ යි යන හැඟීම වන හෙයිනි. අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් මෙරට පුරවැසියෝ තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් ඉදිරි පස් වසරට පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීමණ්ඩලයක් පත් කළහ. දැන් එළඹ ඇත්තේ එම තීන්දුව අනුව ආණ්ඩුකරණය සඳහා ඇමති මණ්ඩලයක් පත් කොට පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුකරණයට ප්‍රවිශ්ඨවීමයි. නමුත් එම කටයුත්ත ක්‍රියාවට නැඟීමට එකඟතාවට ඒමට දේශපාලන නායකයන් දිගින් දිගටම අපොහොසත්වීම මහජනයා අතර බලවත් කළ කිරීමක් ඇති කොට තිබේ. මෙම දේශපාලකයන් වැඩි දෙනෙකු හැසිරෙන්නේ ප්‍රජාවේ පොදු යහපත පිළිබඳ කරුණ මුල් කොට ගෙන ක්‍රියාකරන සැබෑ ජාතික නායකයන් ලෙස නොව තම පෞද්ගලික යහපත, තම තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවැත්ම, තම දේශපාලන මතවාදයේ ජයග්‍රහණය යනාදිය වෙනුවෙන් වීම ‘අපට නායකයන් නැතැ‘ යැ යන හැඟීම මහජනයා අතර පැතිර යන්නට හේතු වී තිබේ.
දේශපාලනය තමන් ගේ ආර්ථික පදනම ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය බලය සහ සමාජ ජාලයන් ගොඩ නංවා ගැනීමට මඟ ලෙස සළකා කටයුතු කිරීම වත්මනෙහි දේශපාලකයන් අතර පැතිර පවතියි. මෙය වෙනස් වන සමාජ-ආර්ථික තත්වයන් ගේ පිළිබිඹුවකි. ඊට ඉහලින් ප්‍රජාවේ පොදු යහපත ඔසවා තබන නායකයන් නොසිටියහොත් ආණ්ඩුව හුදෙක් සමාජ-ආර්ථික බලවේග අතර ගැටුමෙහි ගොදුරක් බවට පත්වී රට අස්ථාවර වෙයි.
දේශපාලන පක්ෂයක අනාගත පැවැත්ම පිළිබඳ ගැටලුව රාජ්‍ය පාලනයෙහි ලා මෙතරම් තීරණාත්මක වූ අවස්ථාවක් නූතන ලංකා දේශපාලන‍යෙහි මීට පෙර තිබී ඇත්දැයි නොදනිමි. 2005 සිට මහින්ද රාජපක්ෂ පිලේ ග්‍රහණයට නතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප ය) ඉන් මුදවාගෙන එහි “නිසි උරුමකරුවන්“ අතට යළි පවරාගැනීමේ උත්සාහය වත්මන් රාජ්‍ය පාලනය සමග තදින් ගැටගැසී තිබීම රටේ දේශපාලන ගමන් මග තීන්දු කරන ප්‍රධාන සාධකය බවට මෙම මොහොතේ පත් ව තිබේ. මෙම නිසි උරුමකරුවන් පිළිබඳ අදහස – බණ්ඩාරනායක උරුමය සහ 1956 සමාජ බලවේගයේ උරුමය – යන පුද්ගල සහ සමාජීය යන දෙඅර්ථයෙන්ම පැහැදිළි කළ හැකිය Continue reading නායකයන් පතන දේශය අසතුටිනි – කුමුදු කුසුම් කුමාර