Tag Archives: රාජපක්ෂ රෙජිමය

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද?

කුමුදු කුසුම් කුමාර

(මෙම ලිපිය ලියා අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීමට පෙර .)

2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීමෙන් අප ලද ප්‍රථිඵල පිළිබඳ අප තුළ සැකයක් ඇති වීම සාධාරණ ය. යමෙකු තමන් අතින් වරදක් සිදුවීය යන සිතුවිල්ල මත තැවීම හෘදය සාක්ෂිය අවදි වීම පිළිබඳ කරුණකි. නමුත් දිගින් දිගටම එසේ තැවීම එක්කෝ පුද්ගලයා නිශ්ක්‍රීය බවට පත් කරයි, නැතහොත් තමන් කළේයැයි සිතන වරද නිවැරදි කළ හැකි යැයි සිතන කෙටි පාරවල් සෙවීමට යොමු කරයි.

නමුත්, ජනවාරි 8 දේශපාලන පෙරළිය සිදුනොවූවා නම් මේ වනවිට සිදුවී තිබීමට ඉඩ කඩ ඇති දේ ගැන උපකල්පනය කිරීම ප්‍රකට කරන්නේ අප දේශපාලනය ගැන සිතන ආකාරය මිස සැබැවින්ම සිදුවනු ඇතිව තිබුණු දේවල් නොවේ. මන්ද යත් දේශපාලනය යනු පුරවැසි ක්‍රියාකාරිකයන්ගේ මැදිහත් වීමෙන් අනපේක්ෂිත සහ අරමුණු නොකළ ප්‍රථිඵල උදාකරදීමේ විහවයක් ඇති මානව ක්‍රියාකාරකම් පිළිබඳ තලයක් වන හෙයිනි. Continue reading ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර

Advertisements

මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද?

ලංකාවේ වර්ථමානයේ වැදගත්ම දේශපාලන කටයුත්ත වියයුත්තේ ජනතාව අත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා නවලිබරල්වාදයට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කිරීම යැයි සිතමි.

2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාගත්තෙමු යැයි සිතූ මෙහොතේම අපට එම ජයග්‍රහණයෙහි ඵල නෙලා ගැනීම අහිමි වූයේ කල්තබාම නවලිබරල්වාදීන් විසින් සැළසුම් කොට තිබූ පරිදි ඔවුන් දේශපාලන බලය වහා තමන් අත ගොනු කර ගත් හෙයිනි.

2019 ජනාධිපතිවරණයෙන් යළි රාජපක්ෂ ජ  බලයට ගෙනැවිත් දෙවනුව එය පරාජය කළ හැකි යැයිද එමගින් 2015 ජනවාරි 8 ව්‍යාපාරය යළි ඇරඹිය හැකි යැයිද විශ්වාස කිරීම ප්‍රකට කරන්නේ, හනා ආරන්ඩ්ට් ගේ තර්කයක් ගෙන කියන්නේ නම් නිමවන්නාගේ මානසිකත්වය (fabricators mentality) දේශපාලනයට ගෙන ඒමේ උත්හාසයකි යැයි කිව හැකිය. එය දේශපාලනයට මෙවලම්කාරී සිතීම (instrumental thinking) ගෙන ඒමකි.

ආරන්ඩ්ට් තර්ක කරන පරිදි, නිමවන්නා තමන් අරමුණු කරන දේ නිමැවීමට තමන් අත ඇති ද්‍රව්‍ය විපර්යාස කිරීම අරමුණු කරයි. අධිපතිභාවය, ප්‍රචණ්ඩත්වය සහ අරමුණු වෙනුවෙන් මං කැපකිරීම, නිමැවීමේ කටයුත්තේ අත්‍යංග ගුණාංග වෙති.

“And, indeed, among the outstanding characteristics of the modern age from its beginning to our own time we find the typical attitudes of homo faber: his instrumentalization of the world, his confidence in tools and in the productivity of the maker of artificial objects; his trust in the all-comprehensive range of the means-end category, his conviction that every issue can be solved and every human motivation reduced to the principle of utility; his sovereignty, which regards everything given as material and thinks of the whole of nature as of “an immense fabric from which we can cut out whatever we want to resew it however we like”;  his equation of intelligence with ingenuity, that is, his contempt for all thought which cannot be considered to be “the first step . . . for the fabrication of artificial objects, particularly of tools to make tools, and to vary their fabrication indefinitely”; finally, his matter-of-course identification of fabrication with action.”

Hannah Arendt. The Human Condition.   p.305

ආරන්ඩ්ට් දකින පරිදි,  ක්‍රියාව (action) නැතහොත් දේශපාලනය වූ කලී බහුවිධ පුද්ගලයන් අතර ගණුදෙනු පිළිබඳ සැළකිල්ල දක්වන සංසිද්ධිය කි. නිමැවුමේ මූලධර්ම දේශපාලනයට ආදේශ කළ විට,ප්‍රචණ්ඩව සළකනු ලබනු ඇති ද්‍රව්‍ය බවට පත්වනු ඇත්තේ සහ සාධනය කිරීමට අපේක්ෂා කරන අරමුණ  වෙනුවෙන් බිලිදෙනු ඇත්තේ අන්‍ය ජනතාව යි. නිමැවුමේ මූලධර්මය දේශපාලනයට ගෙන එන තැනැත්තා සිතන්නේ  ඉතිහාසය තැනීම හරියට මේසයක් තනන්නාක් වැනි කාර්යයක් යනුවෙනි.එවැනි දේශපාලන ව්‍යාපෘතියක් මානවයන් වන අපට අප අරඹන ක්‍රියා අපට අවශ්‍ය පරිදි පාලනය කළ හැකිය යන විශ්වාසය මත පදනම් වෙයි.දේශපාලනයේදී අප මුදා හරින ක්‍රියාවන් හි ප්‍රථිඵල අපට පාලනය කළ නොහැක. මන්ද යත්, අප ආරම්භ කරන දේශපාලන ක්‍රියා අනෙකුන්ගේ ක්‍රියා සහ ප්‍රතික්‍රියාවන්හි ඵල  සමග බලාපොරොත්තු කඩවන පරිද්දෙන් පටලැවෙන හෙයිනි.අපේ ක්‍රියා මුදාහරින ක්‍රියාවලීන් අසීමිත සහ යළි හැරවිය නොහැකි වීමට ඉඩ තිබේ. (Margaret Canovan. 1992. Hannah Arendt: a reinterpretation of her political thought. Cambridge) 

මේ අනුව සළකා බලන කළ, රාජපක්ෂ රෙජිමයේ ඒකාධිකාරවාදය පරාජය කිරීමට මෙවලම්කාරී සිතීම ගෙන ඒම  තුළ රාජපක්ෂ රෙජිමයේ අනෙකා ලෙසින් තමන්මත් ඒකාධිකාරී දේශපාලනයකට යොමු වීමේ නැඹුරුවක් අපගේ දේශපාලන සිතීම තුළ තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රථිෂ්ඨාපනය කිරීමේ අරමුණට එරහිව යයි.

2015 ජනවාරි 8 ව්‍යාපාරය යළි ඇරඹිය හැක්කේ යළි බහුජන දේශපාලනය ගොඩ නැංවීමෙනි. එනම් බහුජනතාව යළි දේශපාලනයට කැඳවීමෙනි.ඒ සඳහා නවලිබරල්වාදය අප සමස්ත සමාජය වෙලා ගෙන ඇති අයුරු පිළිබඳ විග්‍රහය අප සමාජ ගත කළ යුතු ය.

අවුරුදු 200 ක් ඉක්මවූ ඉතිහාසයක් තුළින් පැමිණ ඔබාමා ජනාධිපති කළ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඉන් අනතුරුව ජනාධිපති ලෙස පත් කළේ ට්‍රම්ප් ය. මෙය අපට සිහිපත් කළ යුත්තේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් වන අරගලය වරක් දිනා සදාකාලයටම නොවෙනස්ව පවත්වා ගෙන යා හැකි, එක් ජයග්‍රහණයකින් කෙළවර වන ව්‍යාපෘතියක් නොවන බවය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? යන්න පිළිබඳ අලුතින් සිතීමට ද දැන් කාලය පැමිණ ඇති බවය.

– කුමුදු

ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්

සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් දැක්වූ අදහස් මත පදනම්ව අහිලන් කදිරගාමර් විසින් ලියන ලද Trade liberalization in the times of global economic crisis – political and economic implications of ETCA යන ලිපියේ සිංහල පරිවර්තනය පහත පලවේ.

අපේක්ෂා කළ ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීම වෙනුවට දැන් ලෝකය අත්දකිමින් සිටින්නේ වේදනාකාරී අවධමනයකි. 1930 මහා ආර්ථික අවපාතයට පසු අවධමනය විසින් – එනම් මිල ගණන් පහල යාම සහ පාලනය කරගත නොහැකි ආකාරයකට ඉල්ලූමේ සිදුවන සර්පිලාකාර පහත වැටීම විසින්, මේ තරම් ඉහළ මට්ටමකින් ගෝලීය ආර්ථිකය සොලවා දැමූ අන් කිසිදු අවස්ථාවක් නැත.

ලෝකයේ ආර්ථික පොලිස්කාරයන් ලෙස ක්‍රියාකරන බටහිර බලවතුන් වන එක්සත් ජනපදය, ජර්මනිය විසින් නායකත්වය දෙනු ලබන යුරෝපා රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ඔවුන්ගේ නියෝජිතයින් වර්තමාන අර්බුදය ඇති වීම සම්බන්ධයෙන් පාර්ශවීය ලෙස වග කිව යුතු වෙති. 2008 ඇති වූ අර්බුදයේ තීව්‍රතාවය නොතකා ඔවුහු දිගටම ස්වකීය නව ලිබරල් දෘෂ්ටිවාදය වෙත ඇලී ගැලී සිටි අතර මූල්‍ය ප්‍රාග්ධනය නම් වූ සිය ස්වාමියා වෙත ඔවුන් තුළ තිබූ පක්ෂපාතීත්වය නොවෙනස්ව පැවැතිණ. ආයෝජන සහ වාණිජ බැංකු, අන්‍යොන්‍ය හා හෙජිං අරමුදල්, වෝල් වීදියේ හා ලන්ඩන් නාගරිකයේ ලැගුම් ගන්නා පුද්ගලයින්ගෙන් මෙකී මූල්‍ය ප්‍රාග්ධනය මූර්තිමත් වේ. මූල්‍ය ප්‍රාග්ධනය කෙරෙහි වූ මෙම පක්ෂපාතීත්වය දිගින් දිගටම සුබසාධන කප්පාදු වැඩපිලිවෙත් අනුගමනය කිරීම වෙත බටහිර බලවතුන් යොමු කළේය. බැරෑරුම් ආර්ථික විසඳුමක අවශ්‍යතාවය ඔවුන් විසින් සලකා බලනු ලැබුවේ හෝ නැත. මූල්‍යකරණ ක්‍රියාවලිය ආපසු හැරවීම සහ රජය විසින් සිදුකරන නිෂ්පාදනීය ආයෝජන මගින් රැකියා ජනනය වන ආර්ථික වර්ධන ක්‍රියාවලියක් සඳහා මුලපිරීම එබඳු බැරුරුම් ආර්ථික විසඳුමක් සඳහා අවශ්‍ය කෙරේ. ඒ වෙනුවට පෞද්ගලික ණය ප්‍රසාරණය කොට පරිභෝජනය හා සමපේක්ෂණමය ආයෝජන පුලුල් කිරීම ප්‍රවර්ධනය කෙරිණ. මෙම උපාය මාර්ගයේ නිෂ්ඵලභාවය සිතුවාටත් වඩා කලින් මේ වනවිට තහවුරු වී තිබේ. Continue reading ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්

හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා – අහිලන් කදිරගාමර්

ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත.

බලයට පත්වීමෙන් හරියටම වසරකට පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රටේ ව්‍යවස්ථාව නැවත සම්පාදනය කිරීම සඳහා වූ ක‍්‍රියාදාමයකට මුල පුරා තිබේ. තවද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකච්ඡන්දයෙන් සම්මත කරගත් යෝජනා සම්මතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව සංක‍්‍රමණීය යුක්තියට අදාළ ක‍්‍රියාවලීන් ද ඉදිරියට ගෙන යමින් සිටී. ඓතිහාසික වශයෙන් එකිනෙකාට එරෙහිව සිටියා වූ පක්ෂ දෙකකට අයත් ජනාධිපති සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතර ඉහත කී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය සහ සංක‍්‍රමණීය යුක්තිය සම්බන්ධ පෙරමුණු ගැන පොදු එකඟතාවයක් පවතී. කෙසේ වූවද එම ක‍්‍රියාවලීන් දෙකම විශාල වශයෙන් රටේ ආර්ථික අනාගතය මත රැඳි පවතී. ග‍්‍රාමීය ආර්ථිකය සමඟ ජනාධිපතිට දැඩි බන්ධුතාවයක් තිබෙන සහ අග‍්‍රාමාත්‍යවරයා ආර්ථික ලිබරල්කරණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින සන්දර්භයක් තුල, බලය සංකේන්ද්‍රණය කරගැනීමට රෙජිමයට තිබෙන හැකියාව සහ ආණ්ඩුවට ස්ථාවර විය හැකි පරිමාණය කෙරෙහි නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය දැඩි ලෙස බලපෑම්සහගත වනු ඇත.

ජීවන වියදම ඉහළ යාම, රැකියා අවස්ථා අප‍්‍රමාණවත්වීම සහ ආදායම් අසමානතා දැඩි වීම ආදී ප‍්‍රශ්නවලින් සංලක්ෂිත පවතින ආර්ථික තත්වය පැවැති රෙජිමයේ මැතිවරණ පරාජය සඳහා කේන්ද්‍රීය ලෙස බලපෑ කරුණකි. ජනවාරි මාසයේ මුල් සතියේ ශ‍්‍රී ලංකාවේ පැවැති ආර්ථික සමුලුවට සත්කාරකත්වය සැපයීම සඳහා ගෝලීය මූල්‍ය සම්පාදකයෙක් හා දානපතියෙක් වන ජෝර්ජ් සොරෝස් ආරාධනා ලැබූයේ මෙම ආර්ථික තත්වය ආමන්ත‍්‍රණය කිරීම රජය ඉදිරියේ අභියෝගයක් බවට පත්වී තිබෙන සන්දර්භය තුලය. අගමැතිගේ සංකල්පයක් වන මෙම ආර්ථික සමුලුවේ අභිප‍්‍රාය වූයේ ලංකාව තුලට ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය ගෙන ඒම හා ශ‍්‍රී ලංකාව ගෝලීය මූල්‍ය සිතියම මත පිහිටුවීම මගින් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට උපයෝගී කොට ගැනීමය. මෙම සමුලුව සඳහා ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා වූ හාවඞ් විශ්ව විද්‍යාලයේ මධ්‍යස්ථානය සහයෝගය ලබාදුන් අතර එම ආයතනය සමුලුවට ජාත්‍යන්තර විශේෂඥයින් කැඳවීම සඳහා සිය ජාලය යෙදවීය. Continue reading හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා – අහිලන් කදිරගාමර්

2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්
අහිලන් කදිරගාමර්

“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ කිරීම් දිරිගන්වමින්, ප‍්‍රාග්ධන වෙළඳපොලවල් ප‍්‍රවර්ධනය කරමින් නව ආණ්ඩුවත් මූල්‍යකරණය විෂයෙහි ගමන් කරමින් සිටින්නේ ඒ මාවතේමය. තවද යෝජිත මෙගාපොලිස් ව්‍යාපෘතිය හරහා බස්නාහිර පළාතේ අති දැවැන්ත නාගරික පරිවර්තනයක් ඇති කිරීමට ආණ්ඩුව සැලසුම් කරයි. මේ මුල පිරීම් නොවැලැක්විය හැකි ලෙස කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය සමග, වෙළඳපොල හිතවාදී ඉඩම් ප‍්‍රතිපත්ති සමග හා රාජ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණයට ලක්කිරීම සමග සම්බන්ධය. මෙකී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැගෙන්නේ නිකම් නොව ‘පිරිසිදු දෑතින් ’ යුක්තව ඒවා සිදුකෙරෙන බවට ලබා දී තිබෙන ප‍්‍රතිඥාව යටතේය.”

Continue reading 2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම: ඡනතා පරමාධිපත්‍යය දේශපාලන පක්ෂ වෙනුවෙන් කැප නොකළ යුතුය – කුමුදු කුසුම් කුමාර

දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද?
දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද?

“සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය.

පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.”

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පොරොන්දුව ඉටු කිරීමට පසුබට වීමට හේතුවක් වශයෙන් රජය දක්වන්නේ ඉන් සුළු ජාතික පක්ෂ වලට අසාධාරණයක් වනු ඇති හෙයින් ඒවායේ ඉල්ලීම මත මෙය කල් දමන බවයි.

මෙහිදී අප අසන්නට කැමත්තේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ දී අප මෙහෙයවන මූලධර්මය විය යුත්තේ කුමක්ද? යන්නයි. දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද? දෙමළ සහ මුස්ලිම් සුළු ජාතික පක්ෂවල හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය වැනි කුඩා දේශපාලන පක්ෂ වල වාසිය තකා ඡන්දදායකයාගේ අයිතිය කැප කරන්නට අප සූදානම් වන්නේද? ඡන්දදායකයාගේ ඡන්දයේ ඇති වැදගත්කම දේශපාලන පක්ෂවලට දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද එකතු කිරීමට ඇති අවශ්‍යතාවට යට කරනවාද? පොදු යහපත සඳහා ක්‍රියාත්මක වීම කල් දමන්නට අප සූදානම් වන්නේ මෙම පදනම මතද?

වත්මනෙහි අපගේ ඡන්ද ක්‍රමය තුළ අවධානය ඇත්තේ දේශපාලන පක්ෂවලට මිස ඡන්දදායකයා වෙත නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂ සඳහා වන ආණ්ඩු ක්‍රමයක් බවට පිරිහී ඇත. නමුත් අප මෙය අපගේ දේශපාලනයේ පදනම ලෙස භාරගත යුතු නැත. අපව මෙහෙයවිය යුත්තේ ‘ජනතා පරමාධිපත්‍යය වඩාත් තහවුරු විය හැකි ඡන්ද ක්‍රමය කුමක්ද?’ යන සිතුවිල්ල යි.

තමන්ගේ පළාතට මන්ත්‍රීවරයෙක් සිටිය යුත්තේ සංවර්ධන කටයුතු ඉටු කරවා ගැනීම සහ රැකියා ලබා ගැනීම සඳහා නොවේ. මේ අවශ්‍යතා පවත්නා දිස්ත්‍රික් මට්ටමේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේත් ඉටුවෙයි. රැකියා ලබා දීම මනාප ඡන්ද ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවට වත්මනෙහි පත් වී ඇත. මෙබඳු කටයුතුවල යෙදෙනවා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිපත්ති සම්පාදකයන් විය යුතුය යන්න අප පිළිගත යුතුය.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී ඡන්දදායකයන් ට තමන් දරන අදහස් මත ආණ්ඩුවට බලපෑම් කිරීමට මාර්ගයක් තිබිය යුතුය. ඡන්ද කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් බැගින් සිටීම ඒ මාර්ගයයි. මන්ත්‍රී යනු ඡන්දාදායකයන් ගේ නියෝජිතයා ය. එම නියෝජිතයා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන් පත්කරන ඡන්දදායකයනට වග කියන්නෙකු විය යුතුය.

නියෝජනයේ මූල ධර්මය පිළිපදිනු ලබන්නට නම් ඡන්දදායකයා සහ නියෝජිතයා අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතුය. එම සම්බන්ධය දේශපාලන පක්ෂ සම්බන්ධය මත නොව මහජන ප්‍රතිපත්ති සම්පාදනය මුල් කර ගෙන ඇති විය යුතුය.

ඇතැමුන් සළකන ලෙස සමානුපාතික ඡන්ද ක්‍රමය හොඳම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කිහිපයකට වරක් හුදෙක් ඡන්දය දීම ලෙස සළකන්නේ නම් පමණි.

ඡන්ද ක්‍රමයේ අරමුණ තනි දේශපාලන පක්ෂයකට හෝ පක්ෂ සන්ධානයකට ස්ථායී ආණ්ඩුවක් පිහිටුවිය හැකි වන අයුරින් එය සකස් වී තිබීම විය නොහැකිය. ආණ්ඩුවකට ස්ථායීභාවයක් අවශ්‍යය. නමුත් ඒ වෙනුවෙන් ඡන්දාදායකයාගේ අයිතිය කැප නොකළ යුතුය. ඡන්ද ක්‍රමයේ අරමුණ ජනතා පරමාධිපත්‍යය සහතික කිරීමයි. විවිධ මත දරන පක්ෂ හෝ සන්ධාන වලට පොදු යහපත වෙනුවෙන් එකට එක්ව වැඩ කිරීමට බල කරන ඡන්ද ක්‍රමයක් හොඳ දෙයකි. නමුත් එම අදහස දේශපාලන විපක්ෂයක් නැති කරන පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන ජාතික ආණ්ඩුවක් බවට ලඝු කළ යුතු නැත.

ජනවාර්ගික අයිතිවාසිකම් අපේ දේශපාලන න්‍යාය පත්‍ර යේ ඉහළින් තිබෙන වත්මන් අවස්ථාවේ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වසන ප්‍රදේශවල එම ජනයාට ප්‍රමාණවත් මන්ත්‍රී නියෝජනයක් ලැබිය යුතුය. මේ සඳහා සමානුපාතික නියෝජනයේ ක්‍රමය පවත්වාගෙන යාම ඔවුනට අවශ්‍ය කෙරෙයි. මනාප ඡන්ද ක්‍රමය ජනවාර්ගික කොටස් මිශ්‍රව වසන ප්‍රදේශ වල සුළු ජන කොටස් වලට ඔවුන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාව සහතික කරන බවද සැබෑය. එහෙත් එබඳු තාවකාලික අරමුණු සඳහා මනාප ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවේ.

තවද අප අද එළඹ සිටින්නේ අප තව දුරටත් ගමන් කළ යුත්තේ ජන වර්ග පදනමින් ඡන්දදායකයන් බෙදා වෙන් කිරීමේ දේශපාලනයකට නොව සියළු ජනවර්ග වලට අයත් ඡන්දදායකයන් තම ඡන්දදායකභාවය මුල් කොට ගෙන දේශපාලනයට සම්බන්ධ කර ගැනීම දක්වා අපේ පුරවැසි අපේක්ෂා පළල් කිරීම දිශාවටය. එතැනින් ඔබ්බට සැබෑ පුරවැසි දේශපාලනයක් සඳහා පුරවැසි අපේක්ෂා ගැඹුරු කිරීමේ දෙසටය.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම කල් දැමීමට දින සියය හේතුවක් කර ගත යුතු නැත. දින සියය ජනතාවගේ ඉල්ලීමක් නොවේ. මැතිවරණ ප්‍රකාශණයක සඳහන් හැම දෙයක්ම වෙනුවෙන් ජනතාව ඡන්දය දුන්නා යැයි කියන කතාව වලංගු කතාවක් නොවන බව එසේ කියන අය පවා දනිති. ඉටු කිරීමට වඩා උනන්දු විය යුත්තේ සැබෑ ලෙසම ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ය. එලෙසින් ප්‍රතිපත්ති ප්‍රකාශයට එක් වූ යෝජනාවක් වන්නේ ඡන්ද කොට්ඨාශ මට්ටමින් මෙන්ම සමානුපාතික ක්‍රමයටත් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේ මිශ්‍ර ක්‍රමය සම්මත කර ගැනීමේ සහ මනාප පොරය අහෝසි කිරීමේ යෝජනාවයි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම කල්දැමීම කිසිසේත්ම කළ යුතු නොවේ. මන්දයත් ඉදිරියට එන මහ මැතිවරණයකින් පසු එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ඊළඟට පත්වන ආණ්ඩුවකට නොලැබීමට ඉඩ ඇති හෙයිනි. අවශ්‍ය නම් වැඩි දුර කාලය ලබා ගෙන මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය යොමුවිය යුතුය.

ඡන්දක්‍රමය සංශෝධනය පිළිබඳ අප සිතන විට සැළකිය යුතු ව්‍යවස්ථා සංශෝධනයන් ට එකතු කළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් ද මෙහි දී සඳහන් කළ යුතුය.

ඡන්දයක් සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය පසු කැබිනට් මණ්ඩලය රාජ්‍ය සම්පත් තම මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත නොහැකි වන සේ ආණ්ඩුව භාරකාරත්වය යටතට පත් කළ යුතුය. එම කාලය තුල රාජ්‍ය නිලධාරීන් ගේ බලතල ද අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කළ යුතුය.

රටේ ජනාධිපති පක්ෂ දේශපාලනය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට නොබැසිය යුතුය. ඔහු රටේ සියලු ඡන්දදායකයන්ගේ නායකයා වන හෙයිනි. ධුරයට පත් වූ පසු ඔහු අපක්ෂපාතී විය යුතුය. පක්ෂ දේශපාලනයෙන් නිදහස් විය යුතුය.

ඡන්ද අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ තම මැතිවරණ වියදම් ලැබෙන ආකාරය හෙළිදරවු කිරීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් කළ යුතුය.
ජනාධිපතිවරණයට අන් අපේක්ෂයන්ගේ සහායට ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් වීම අධෛර්යය කිරීමට කළ යුත්තේ අපේක්ෂකයෙකු වංචනික ලෙස අන් අපේක්ෂකයෙකුට සහාය විය හැකි ආකාර වැළැක්වීමට දැඩි නීති පැණවීම මිස ජනාධිපතිවරණයට යමෙකුට ඉදිරිපත්වීමට ඇති අයිතියට බාධා කරන ලෙසින් තැන්පත්මුදල ඉහළ දැමීම නොවේ.

සමානුපාතික නියෝජනය මත පදනම් වූ ඡන්ද ක්‍රමයක සිට ඡන්ද කොට්ඨාශ මට්ටමින් ද නියෝජිතයන් පත් කරන මිශ්‍ර ක්‍රමයක් දක්වා අප ගමන් කළ යුත්තේ මෙම පක්ෂ දේශපාලනය මත පදනම් වූ ඡන්ද ක්‍රමය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් අප පිළිගත යුතු නිසා නොවේ.

එය දේශපාලන නිදහස සැබෑ ලෙස භුක්ති විඳින පුරවැසියන් දිනපතා මහජන කටයුතුවලට සහභාගී වෙන සහ දේශපාලන පක්ෂ මගින් හෝ වෙනත් සංවිධාන විසින් මෙහෙයවනු ලැබීමෙන් නොව නියෝජිතයන් වෙනුවට තමන් විසින්ම ක්‍රියාකරන පුරවැසියන්ගෙන්ම සැදුම් ගන්නා මහජන පරිමණ්ඩලයක් දිශාවට අපේ දේශපාලන ව්‍යුහ විපර්යාස කිරීම සඳහා තැබෙන එක් ඉදිරි පියවරක් ලෙසින් සළකමිනි.

දේශපාලනය එහි ගැඹුරු අර්ථයෙන් රැකෙන්නේ පුරවැසියන් වෙනුවෙන් එබඳු මහජන පරිමණ්ඩලයක් සම්පාදනය කරගැනීම තුළ ය. පුරවැසියන් අතර රාජ්‍ය බලය, මහජන බලය බෙදී යනු ඇත්තේ පුරවැසියන් සැබෑ ලෙස දේශපාලන නිදහස භුක්ති විඳිනු ඇත්තේ එවිට පමණි.

සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය.

පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.

මෛත්‍රී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ: අගමැති ප්‍රධානිත ආණ්ඩුව සහ ජනතා පරමාධිපත්‍යය උගස් තබන මැතිවරණ ක්‍රමය – කුමුදු කුසුම් කුමාර

මැතිවරණ ව්‍යාපාරය අරඹමින්
මැතිවරණ ව්‍යාපාරය අරඹමින්

මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි නොමැති තවත් වැදගත් කරුණක් පිළිබඳ කෙටියෙන් මෙහි ලියමි. සඳහන් කරුණ, ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න යි. එහි නොමැති කරුණ, මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා වන සංශෝධනය යි.

යෝජිත සංශෝධන පසුබිමෙහි සළකා බැලූ විට සාකච්ඡා පත්‍රිකාවේ එන ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න හුදු කරුණුමය සඳහනක් ලෙස පෙනී යා හැකිය. නමුත් ජනාධිපති ට ඇති විධායක බලතල කප්පාදු කිරීමට එරෙහි විවේචකයන් ඉදිරිපත් කරන අදහසක් වන්නේ යෝජිත ප්‍රතිසංස්කරණ වලින් අගමැති ට අසීමිත බලතල ලැබෙන බවයි. එයින් ජනතාවට පරමාධිපත්‍යය අහිමි ව සීමිත ඡන්දදායකයන් පිරිසක‍ගේ ඡන්දයෙන් බලයට පත්වන අගමැතිවරයෙකු අතට රාජ්‍ය බලය හැසිරවීම පත් වන බවයි.

අපට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය යටතේ පරමාධිපත්‍යය ජනතාවට අහිමි වූ හෙයිනි. එහෙයින් යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ පරමාධිපත්‍යය ජනතාවට යළි පැවරෙන බවට අප සහතික විය යුතුය. එසේ වන්නට නම් කිසිදු තනි පුද්ගලයෙකුට ව්‍යවස්ථාමය බලයක් හිමි නොවන තැනට වග බලා ගත යුතුය. පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ ඇති සීමිත ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේ ජනයා පාර්ලිමේන්තුවට පත් කර ගන්නා නියෝජිතයන් මගිනි. මෙම නියෝජිතයන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා වශයෙන් අගමැතිවරයා පත් කෙරෙයි. අගමැති ගේ උපදෙස් මත ඇමති මණ්ඩලය පත් කෙරෙයි. අගමැති යනු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යනු පාර්ලිමේන්තුව විසින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමට විධායක බලය පවරන නියෝජිත කණ්ඩායමකි. ඔවුන් තම සියලු කටයුතු වලදී පාර්ලිමේන්තුවට වග කියන බවට සහතික කිරීමෙන් පමණක් ජනතා පරමාධිපත්‍යය රැකෙයි.

එහෙයින් ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යය සහතික කෙරෙන පරිද්දෙන් සංශෝධනය කිරීමේ දී එහි තනතුරු හා අදාළ සංකල්පීකරණය ද ඊට අනුකූලව සිදු කිරීමට අප පරෙස්සම් විය යුතුය. මේ කෙරෙහි ව්‍යවස්ථා සම්පාදකයන් අවධානය යොමුකළ ඇති ආකාරය විවිධ ව්‍යවස්ථා අධ්‍යයනයෙන් හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව බලන්න.

එහි පළමු පරි‍ච්ඡෙදයේ අංක 4 සහ 5 වගන්ති වල ජනතා පරමාධිපත්‍යය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන් ගේ ජාතික රා‍ජ්‍ය සභාව මගින් ක්‍රියාවට නැංවෙන බව සඳහන්ය. ජනරජයේ රාජ්‍ය බලයේ උත්තරීතරතම උපකරණය ජාතික රා‍ජ්‍ය සභාව වන්නේය. එය ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, ජනාධිපති සහ කැබිනට් මංඩලය මගින් රාජ්‍ය ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලයත් ක්‍රියාවට නංවන බව ද එහි සඳහන්ය.

මෙහි අවධාරණය ඇත්තේ ජනාධිපති, ජාතික රාජ්‍ය සභාව සහ කැබිනට් මංඩලය පිළිබඳ මිස අගමැති පිළිබඳ නොවේ.

1972 ජනරජ ව්‍යවස්ථාවේ 13 වැනි පරිච්ඡෙදයේ 92 වැනි වගන්තියේ කැබිනට් මංඩලය පිළිබඳ ඇති සඳහන මෙපරිදිය. ආණ්ඩුවේ දිශානතිය සහ පාලනය පිළිබඳ වගකීම පැවරෙන අමාත්‍යවරුන්ගේ කැබිනට් මංඩලය ජාතික රාජ්‍ය සභාවට සාමුහිකව වගකියනු ඇති අතර ඔවුන් වගකිය යුතු සියලු කරුණු සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය සභාවට පිළිතුරු බැඳිය යුතු වෙයි. ඇමතිවරු අතරින් කැබිනට් මංඩලයේ ප්‍රධානියා වනු ඇති අය අගමැති වනු ඇත. ජාතික රාජ්‍ය සභාවේ විශ්වාසය දිනා ගැනීමට වැඩියෙන්ම ඉඩඇති ජාතික රාජ්‍ය සභා සාමාජිකයා අගමැතිවශයෙන් පත් කෙ‍රෙනු ඇත.

මෙහි අවධාරණය ඇත්තේ කැබිනට් මංඩලය පිළිබඳය. කැබිනට් මංඩලය සාමුහිකව ජාතික රාජ්‍ය සභාවට වග කියයි. අගමැති වැදගත් වන්නේ කැබිනට් මංඩලයේ ප්‍රධානියා ලෙසින් මිස තනිව ගෙන නොවේ.

තව එක් කෙටිඋදාහරණයක් පමණක් ලෙසින් වත්මන් ඉන්දීය ව්‍යවස්ථාව සළකා බලමු. එහි 74 වැනි වගන්තියේ ඇමති මංඩලය ගැන ඔවුන් පත් කෙරෙන ආකාරය සහ ඔවුන්ගේ වගකීම් සමගින් සඳහන් වන්නේ මෙලෙසය. “අගමැති ප්‍රධානියා වන ඇමති මංඩලයක් තිබෙනු ඇත.” මෙහිද අවධාරණයට ඇමති මංඩලයට ය. අගමැති වැදගත් වන්නේ එහි ප්‍රධානියා ලෙස මිස තනිව ගෙන නොවේ.

එහෙයින් මා මෙහි ලා අවධාරණය කරන්නට කැමැත්තේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වචනයට නැඟීම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවෙන ආකාරය සහ ඇමති මංඩලය සාමුහිකව පාර්ලිමේන්තුවට වග කියන බව තහවුරු කරමින් ඉතා පරිස්සමෙන් සිදු කළ යුතු බවයි. එහිදී ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන යෙදුම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම සිදුවුව හොත් එය තනි පුද්ගලයෙකුට පැවරිය යුතු නැති බලයක් ව්‍යවස්ථාදායකව පැවරීමක් වනු ඇත. එහෙයින්ම ජනතා පරමාධිපත්‍යයට බරපතළ හානියක් ද වනු ඇත. අවශ්‍ය නම් මෙහිදී උචිත යෙදුම වනු ඇත්තේ ‘අගමැති ඇමති මංඩලයේ ප්‍රධානියා වන්නේය’ යන්න යැයි යෝජනා කරමි.

මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම
ජනතා පරමාධිපත්‍යය සමග බැඳුණු අනෙක් වැදගත් කරුණ මැතිවරණ ක්‍රමය යි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය රැකෙන එකම ක්‍රමය ජනතාවගේ ඡන්දයෙන් ඡන්ද කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙකු පත් කොට ගෙන ඔහු හෝ ඇය එම ඡන්ද කොට්ඨාශයේ ජනතාවට සෘජුව වග කියන තත්වයට පත් කිරීම යි. වත්මන් දිස්ත්‍රික් පදනමින් සහ සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමය ජනතා පරමාධිපත්‍යය එකහෙළා උල්ලංඝණය කරයි. දිස්ත්‍රික් පදනමින් පත්වන මන්ත්‍රීවරු ඡන්දදායකයන්ට සෘජුව වග නොකියති. ඔවුන් වග කියන්නේ තමන්ට ඡන්ද එකතු කොට දෙන නියෝජිතයන්ට සහ දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය දිනීමට අවශ්‍ය පරිදි මහා පරිමාණයෙන් මුදල් සහ සම්පත් සපයන ඒජන්තයන්ටය. කුඩුකාරයන්, මැරයන්, එතනෝල්කාරයන් සහ වෙනත් දූෂිතයන් පාර්ලිමේන්තු එන්නේ මේ හේතුවෙනි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලත් ප්‍රතිපත්ති ප්‍රකාශයත් දිස්ත්‍රික් පදනම වෙනුවට ඡන්ද කොට්ඨාශ පදනමින් මන්ත්‍රීවරුන් පත් කර ගැනීම සමග කුඩා පක්ෂ වලටද සාධාරණයක් වන සේ සමානුපාතික නියෝජන ක්‍රමය ද ඇතුළත් මිශ්‍ර ක්‍රමයක් දැන් පවත්නා මැතිවරණ ක්‍රමය වෙනුවට සම්මත කොට ගනු ඇති බවට පොරොන්දු වීය.

නමුත් දැන් මෛත්‍රී රජය පවසන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු හෙයින් ඉදිරි මහ මැතිවරණයට පෙර එය කළ නොහැකි බවයි.

මෙම ස්ථාවරය ගැනීම ජනතා පරමාධිපත්‍යය යළි පිහිටුවන බවට මෛත්‍රී රජය ජනතාවට දුන් පොරොන්දුව බරපතළ ලෙස කඩ කිරීමක් වනු ඇත. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව හුදෙක් ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීමෙන් පමණක් ජනතා පරමාධිපත්‍යය යළි ස්ථාපිත කළ නොහැක්කේය. ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස තහවුරු කළ නොහැක්කේය. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නට නම් මහින්ද රාජපක්ෂ රජය කළාක‍් මෙන් හුදු කුමන හෝ මැතිවරණ පැවැත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි. අපට අවශ්‍ය කෙරෙන්නේ තමන්ට සෘජුව වග කියන නියෝජිතයන් ඡන්දයෙන් පත් කර පාර්ලිමේන්තුවට පත් කර යැවීමට 1978ට පෙර මෙරට ජනයාට තිබුණු අවස්ථාව යලි ලබා ගැනීමටයි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය රැකෙන්නට නම් මේ පියවර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය.

එය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නම් එය පවත්වමු. වැදගත් වන්නේ දින සියය කෙසේ හෝ පියමං කිරීම නොවේ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මූලික මැතිවරණ පොරොන්දු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ වැදගත්ම යෝජනා දෙක වන විධායක ජනාධිපති ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට මාරු වීමත් ඡන්ද කොට්ඨාශ පදනමින් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට ජනතාවට හැකි වන මැතිවරණ ක්‍රමයකට මාරු වීමත් මහ මැතිවරණයකට යාමට පෙර ක්‍රියාත්මක කිරීම යි.

එසේ නොවුව හොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස තෝරා පත් කර ගනිමින් ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බරපතල ලෙස පළුදු වනු ඇත.

තමන් රටට දුන් යහපත් අරමුණු ඉටු කිරීම සඳහා යහපත් නොවන මාර්ග තෝරා ගැනීමට යාමේ අවස්ථාවකට මෛත්‍රීපාල සිරිසේන රජය පත් වෙමින් සිටියි. තමන් ගේ අරමුණු ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කෙසේ හෝ අවශ්‍ය වන හෙයින් ඒ සඳහා අවශ්‍ය මාර්ග වලට එළඹීමට රජයට බල කෙරී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම පිළිගෙන තිබේ. ඉන් ප්‍රධාන දෙය නම් බලයෙන් පහ කෙරුණු දූෂිත රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් සතුටු කිරීම අරමුණු කොට විවිධ සහන සැළසීම සහ වරදාන ප්‍රධානයයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කල් දමන්නේ තම යහපත් අරමුණු ඉටු කිරීම සඳහා අපේක්ෂා කරන බලය නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තමන්ට නොලැබෙනු ඇත යන බියෙන් නම් ඊළඟ මහ මැතිවරණයෙන් පසු මැතිවරණ ක්‍රමය වෙනස් නොකෙරෙන තැනකට යළි අප තල්ලු වී ගිය හොත් එය අරමුණ විසින් මාර්ගය යුක්ති යුක්ත කරන තැනට යොමු වීමෙන් අවසානයේදී අරමුණ පරාජය කිරීමට ඉඩ සැළසූ තවත් අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන ජනතා අරගලය තවත් වටයකට කල් යනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ වැනි සමානුපාතික ක්‍රමය යටතේ වැඩි වාසි අත්වනු ඇති පක්ෂද මේ බව වටහා ගත යුතුය.

ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම නොපැකිළෙමි. නිදහසේ නාදය එතරම්ම මියුරුතමය . නිදහස පිළිබඳ හැඟීම මා හදට මෙතරම් සමීප 1977 ට පෙර මෙරට තිබූ දේශපාලන නිදහස භුක්ති විඳිමින් යොවුන් වියට පත්ව ලංකාවේ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල ගැසූ පරපුරේ ලාබාලයෙකු ලෙස 77න් පසු ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් අහිමි වීමේ ඛේදවාචකය මැනවින් අත් විඳි අයෙකු වන හෙයින් යැයි සිතමි.
ජනවාරි 8 දා රැය නිදි නැතිව අප ගෙවූයේ බලාපොරොත්තුවත් උකටලි බවත් එකට කැටි ‍කො‍ට ගත් හැඟීම් අතර සිර වී ගෙනය. බලාපොරොත්තුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. උකටලි බව මහින්ද රාජපක්ෂ‍ගේ රජය තමන් මැතිවරණයෙන් පරාජය වුවද බලය අත් නොහැර දැඩි මර්ධනයක් දියත් කරනු ඇතැයි තිබූ බලවත් බිය නිසාය. මෛත්‍රී දිනන බවට තොරතුරු අටවැනිදා රැය ගෙවී යත්ම දිගින් දිගටම රූපවාහිනිය පරදා අන්තර්ජාලය හරහා ලැබෙමින් තිබුණි. ඡන්ද ප්‍රථිඵලය හමුදාව යොදා මංකොල්ල කන්නට උත්සාහයක් ඇති බව කොළඹ ඩීඇස් සේනානායක ඡන්ද මධ්‍යස්ථානයෙන් වාර්තා වීම දැඩි කම්පාවක් ගෙන දුන් නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සෙසු ජනයාගේ මැදිහත් වීමෙන් උත්සාහය ව්‍යර්ථ කළ බව දැන ගන්නට ලැබීම සහනයක් වීය. ඉන් පසුව ඇති වූ බිය වූයේ මෛත්‍රී ඡන්දයෙන් ඉහළින් දිනා ඇති බව සැඟවීමට රෙජිමයට ඉ‍ඩ නොසැළසුණු නමුත් ඡන්ද ප්‍රථිඵලය අවලංගු කොට හමුදා බලය යටතේ රෙජිමය තම පාලනය දිග්ගස්සා ගනු ඇතිද යන්නයි.

මෙලෙස බියක් ඇති වීමට හේතු මැතිවරණ කාලය තුළ මොනවට ප්‍රකාශ වී තිබුණි. Continue reading ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර