Tag Archives: රාජරත්නාකරය

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (අවසාන කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

“16 වැනි ශතකයේ රචිත රාජරත්නාකරය කියන්නේ ගජබාහු අලූත්කුරුව ප‍්‍රදේශයේ හිරකරුවන් පදිංචි කර වූ බව යි. පුරාණොක්තියේ මේ ස්වරූපය ම වර්තමාන ද්විභාෂක ධිවරයන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනෙයි. රාජරත්නාකරය ලියැවෙන අවධියෙහි අලූත්කුරුව පදිංචි වූ ධීවර පිරිස ඒ ළඟ දී එහි ආ සංක‍්‍රමණිකයන් විය යුතුය. එහෙයින් ඔවුන්ට ගජබාහු ගෙනා සිරකරුවන් ලෙස සලකන ලදී. එසේ කීම ඔවුන් ගජබාහු බේරාගෙන ආ මුල් සිංහලයන් ලෙස දක්වනවාට වඩා යහපත් ය. කෙසේ වුවත් අද අලූත්කුරුව පෙදෙසේ වාසය කරන්නෝ සිංහලයෝය ය. ඔවුහු ඉතා පැහැදිලි සිංහල අනන්‍යතාවක් ද දරති. සිංහල කරාව කණ්ඩායම් ද තමා පැවත එන්නේ මහා භාරතයේ එන සම්භාවනීය කෞරවයන්ගෙන් ය යි විශ්වාස කරති. බෙල් උද්ධරණය කොට දැක්වූ කඩඉම් පොතේ එන අලූත්කරුව ජනපදකරණ ප‍්‍රවාචය අලූත්කුරුවේ ධිවරයාගේ වෙනස් වුණු තත්වයට ගැළපෙන ලෙස සකස් කර ගත් පශ්චාද්කාලීන පුරාණොක්ති ප‍්‍රවාචයක් සේ සැලකිය හැකි ය. මේ කතා පුවත අනුව ගජබාහු බුදුන්ගේ සමකාලිකයෙකි. උන් වහන්සේ සම්භාවනීය කෞරවයන් වාසය කළ රටින් මේ පදිංචිකරුවන් කැඳවා ගෙන වැඩියහ.

මේ කරුණු සලකා බලන විට පෙනී යන්නේ ගජබාහු පුරාණොක්තිය හුදු ස්ථිතික වූවක් නො වන බව යි. එය විවිධ සමාජ කණ්ඩායම් අතර පවත්නා දයලේතිකය ප‍්‍රකාශයට පත්කරන්නකි. උතුරු මැදි පළාතෙන් ලබා ගත් දෙවැනි නිදර්ශනය මේ දයලේතිකය සීමාන්තයකට ගෙනා බව පෙන්වා දෙනු ඇත. ප‍්‍රදේශයෙහි වාසය කරන උසස් කුලවතුන්ගේ අදහසට අනුව රොටා වැව සිටි කම්මල්කරුවෝ පහත් කුලිකයෝ ය. ඔවුන්ගේ පහත් බව කියන්නේ ගජබාහු අල්ලා ගෙන ආ සිරකරුවන් මේ ප‍්‍රදේශයෙහි පදිංචි කරවීමක් සමඟ සම්බන්ධ කරමිනි. කෙසේ වුවත් උතුරු මැද පළාතේ වාසය කරන වැදි ජනයා මේ පුරාණෝක්තියට වෙනස් අරුතක් කවති. ඔවුන් කියන අන්දමට වැදි ප‍්‍රජාව ලංකාවේ ආදිතම වාසිකයෝ ය. රොටාවැව සිටින කම්මල් කරුවෝත් ගොවිගම කුලයට අයත් රටේ මිනිස්සු ද පසු කල සංක‍්‍රමණය වු විදේශිකයෝ ය. ඔවුහු තමන්ට අයිති නැති රටක සිටින පිටරැටියෝ ය. එහි නීත්‍යානුකුල අයිතියක් ඔවුන්ට නැත. උතුරුමැද පළාතේ සිටි හැම කණ්ඩායමක් ම ගජබාහුගේ හිරකරුවන්ගෙන් පැවත එන පිරිස් ය. ඒ ගණයට වැදි ප‍්‍රජාව අයත් නොවෙති. බොහෝ විට ඔවුන් නිවැරදි විය හැකිය. මේ දිවයිනේ සිටින හැම දෙනා ම නො වුවත් බොහෝ සිංහල කණ්ඩායම් කිසියම් කාල පරිච්ෙඡ්දයක දී ලංකාවට දකුණු ඉන්දියාවෙන් ආ සංක‍්‍රමණිකයෝ ය. මේ සමාජ විද්‍යාත්මක සත්‍යය ප‍්‍රකාශ කරන සංකේතාත්මක මාර්ගය ගජබාහු පුරාණෝක්තිය යි. “

Continue reading ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (අවසාන කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

Advertisements

දුටුගැමුණු ගැන මා තුළ අනුකම්පාවක් ඇතත් රහතුන් කෙරෙහි එසේ නැත:(දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:අවසාන කොටස)-ගණනාථ ඔබේසේකර

19 වන සියවසේ අග භාගයේදී අනගාරික ධර්මපාල විසින් යලි මතුකරන ලද බෞද්ධ රාජ්‍ය පිළිබඳ මතවාදවලින් ගැලවී නැත. ඔහු බහුතරය විසින් පිළිගන්නා බෞද්ධ කථාන්තර ඉවත දමා ඇත. ඔහුගේ සමහර සමකාලීන උගත් සහායකයෝ බෞද්ධ ආචාර ධර්ම, භාවනා ක්‍රම බඳු නූතන ගිහි ආගමික වතාවත් පිළිපදිති. අනෙක් අය පිළිපදින ධර්මය දාර්ශනික අර්ථයන්ගෙන් හා දේශපාලනික අර්ථයන්ගෙන් බහුල වුව ද හෘදසාක්ෂියක් ගොඩනැංවීමෙහි ලා අසමත්ය. බුද්ධ ධර්මය හෝ ළමා වියේ අත්දැකීම් හෘදසාක්ෂියක් ඇතිකරන මූලාශ්‍රයන් නොවේ………………………. උගතෙකු හමුවේ තව ගැටළු මතු වේ. එනම්, ඔහුගේ සමාජ පන්තියේ අනෙක් අයට මෙන් නොව ස්වකීය අධ්‍යයනයන් වාස්තවික රාමුවක් තුළ කළ නිසා ඒවා ආශ්‍රයෙන් ඔහුට යම් දේශපාලනික මතයක් ද ගොඩනඟා ගත හැක. තමා මෙසේ දේශපාලන මතයක් ගොඩනඟා ගත් බව ඔහු අවංකවම නොදන්නවා විය හැක. නමුත්, අර්ථ කථනවාදී (Hermeneutic) දාර්ශනිකයෙකු වන ගදාමර් පවසන පරිදි මේ වාස්තවික රාමුව අප විසින් සිතින් මවා ගත්තක් පමණි. ඔහු තර්ක කරන අන්දමට අර්ථ කථනය කිරීම නිවහල් උගතෙකුගේ පූර්ණ වාස්තවික ක්‍රියාවක් නොවේ. අපේ මමත්වයයන් හා අපේ සංස්කෘතික ඓතිහාසික පදනම මේ අර්ථ කථන තුළ කැවී ඇත. ගදාමර්ට අනුව මේ අර්ථ කථනයන් ඇති වන්නේ “ක්ෂිතිජයන් ගණනාවක් එකට පෑහීම” තුළිනි. අර්ථ කථන ක්‍රියාවලිය තුළදී උගතාගේ ශාස්ත්‍රීය ක්ෂිතිජය ඔහු අර්ථ කථනය කරන ග්‍රන්ථයේ, ලේඛනයේ හෝ ක්‍රියාවලියේ ක්ෂිතිජයන් හා එකට බැ‍ඳේ. ග්‍රන්ථයක් ඈත අතීතයට අයත්වන විට ඓතිහාසික ලේඛනයක් තුළ බොහෝ හිස්තැන් ඇති වූ මෙන්ම ග්‍රන්ථයක් අතිශයින් භාවාත්මක විවාදයන් ඉදිරිපත් කරන විට ද ස්වකීය පුද්ගලික මතයන් මේ හිස්තැන් වලට ඇතුළු කිරීමෙන් උගතා වළකින්නේ නැත. මෙහිලා ස්වාධීන චින්තකයන් ජාතිවාදී චින්තකයන්ගෙන් වෙනස් වන්නේ නැත. එසේ වෙනස් වෙතොත් ඒ දුටුගැමුණුගේ මෙන් ඔවුන්ගේ ද හෘදසාක්ෂි තුළ පැනනඟින ගැටුම් අතරින් මතුවන පුද්ගලික මත නිසාය. ඔවුන්ගේ බොළඳකම් වලට මට සමාව දිය හැක…………..නමුත් භාවයන් කුපිත කරවන දේශපාලනික වැදගත්කමක් ඇති කරුණු අධ්‍යයනය කරන විට තමාගේ පුද්ගලික මත හා පාක්ෂිකත්වයන් මොනවාදැයි ඔහු පැහැදිලි කළ යුතුය. එනිසා, බෞද්ධ උගතෙකු වන වල්පොල රාහුල හා එකඟ වෙමින් මම මගේ සදාචාරාත්මක පාක්ෂිකත්වය මෙසේ ඉදිරිපත් කරමි. දුටුගැමුණු ගැන මා තුළ ඇත්තේ අනුකම්පාවකි. නමුත් ඔහු සැනසූ රහතුන් කෙරෙහි මා තුළ එබඳු අනුකම්පාවක් නැත. සතුරන් නැසීම සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුළින් මතුවන මහා සදාචාරාත්මක ප්‍රශ්නය හා එහි ඇති වැදගත්කම ඔවුන්ට වැටහී නැත……….අතපය හකුළුවාගෙන යහනෙහි වකුටු වී “දකුණින් ගොළු මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මම කෙසේ අත් පා දිග හරිම්දැ” යි ඇසූ බොළඳ කොලු ගාමිණී අනුකරණය කිරීම, තම සතුරන් තුළ යම් යහපත් ස්වථාවයක් දුටු මේරූ වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය.

Continue reading දුටුගැමුණු ගැන මා තුළ අනුකම්පාවක් ඇතත් රහතුන් කෙරෙහි එසේ නැත:(දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:අවසාන කොටස)-ගණනාථ ඔබේසේකර

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (පළවෙනි කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර
මහාචාර්ය ගනනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය. අප මෙහි පල කරන මෙම ලිපිය A Meditation on Conscience වශයෙන් සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් ඉංග්‍රීසියෙන් පල වන්නේ 1988 දී ය. මහාචාර්ය රංජනී ඔබේසේකර විසින් සංස්කරණය කරන ලද යාත්‍රා සඟරාවේ 1987 අප්‍රියෙල් කලාප වල පල වූ මෙම සිංහල පරිවර්තනය අන්තර්ජාල පාඨකයන් වෙත අප ගෙන එන්නේ ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකීය සමාජය මත ආලෝකයක් හෙලනු ඇතැයි විශ්වාසයෙන්ය.

සොලී රට සිට පැමිණි දෙමළ රජෙකු වූ එළාර සිංහල රාජ වංශයෙහි සම්ප්‍රදායික බල ප්‍රදේශය වන රජරට ආක්‍රමණය කොට සිය අණසක පතුරුවාගෙන සිටියේ ය. ඔහු සමඟ යුධ කොට ජයග්‍රහණය කළ දුටුගැමුණු රජු ක්‍රි.පූ. 161 වැනි වසරේදී ශ්‍රී ලංකාවේ ස්වාධිපතියා වූයේ ය.

නමුත් ක්‍රි.ව. හතරවැනි පස්වැනි සියවස් වලදී රචිත දීපවංශය දුටුගැමුණුගේ ක්‍රියාව විස්තර කිරීමට යොදා ඇත්තේ එක් ඡේදයක් පමණි. දීපවංශය රචකයා දුටුගැමුණු එළාර පරදවා ධාර්මිකව රජ කළ බැව් පවසන්නේ කෙටියෙනි. වැඩි විස්තර ඇත්තේ දුටුගැමුණු ගේ ආගමික ක්‍රියාවන් – දාගැබ් වෙහෙර විහාර බැන්දවීම – ගැනය.

එසේ වුව ද ඊට සියවස් දෙකකට පමණ පසුව රචිත මහාවංශයේ වීරයා දුටුගැමුණු ය. මහාවංශයෙන් තුනෙන් දෙකක පමණ පවසන්නේ දුටුගැමුණු ගේ ජීවන කථාව හා රාජ්‍ය චර්යාව ගැනය. උගතුන්ගේ මත අනුව මේ ග්‍රන්ථ දෙකටම පසුබිම් වී ඇත්තේ ඒවාට වඩා පැරණි විහාර ලේඛනාවලියකි. දීපවංශය හා මහාවංශය පසුකාලීනව දුටුගැමුණු ගැන ජනප්‍රවාද යොදා ගත්තේ යැයි සිතීම අපහසු නැත. මන්ද, මහාවංශය දුටුගැමුණුගේ ජීවන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ කථාන්තරයක් පරිද්දෙන් නිසාය. මේ කථා ශෛලිය මහාභාරත කාව්‍යයෙන් උපුටා ගත්තේ යැයි සිතීම ද අපහසු නැත. Continue reading දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (පළවෙනි කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර