Tag Archives: ලියනගේ අමරකීර්ති

බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව – 2

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට දායකත්වය සපයන තවත් ලිපියකින් උපුටා ගත් කොටස් පහත දක්වමු. එම ලිපිය මුල් වරට පළ කරන ලද්දේ, 2012 දී ය.


බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මාර්තා නස්බෝම්

පරිවර්තනය: ලියනගේ අමරකීර්ති

පරීක්ෂාවට  ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයෙකුට ජීවත්වීමට නොවටිනා ජීවිතයකි”යි සොක්‍රටීස් කියා සිටියේය. උද්යෝගවත් අලංකාරිකයට හා සංශයවාදී තර්කනයට කැමැත්තක් දැක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී විචාරාත්මක ප‍්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය වෙනුවෙන් සොක‍්‍රටීස් සිය ජීවිතය අහිමි කර ගත්තේය. ඔහු සැපයූ ආදර්ශය අද දවසේ බටහිර සම්ප‍්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන අතර සොක‍්‍රටීස් හා සම්බන්ධ අදහස් ඉන්දියාවේ හා තවත් බටහිර නොවන රටවල අධ්‍යාපනය සඳහාද කේන්ද්‍රීය වේ. සියලු උපාධි අපේක්ෂකයන්ට දර්ශනය හා මානවශාස්ත‍්‍රවලට අයත් අනෙක් විෂයයන්ගෙන් සැදි පාඨමාලා එකතුවක් ඉගැන්විය යුතු යැයි සමහර අය විසින් අවධාරණය කරනු ලබන්නට එක් හේතුවක් නම් එවැනි පාඨමාලාවල අන්තර්ගතය සේම ශික්ෂණ විද්‍යාව විසින් තමන්ම සිතන්නට හා තර්ක කරන්නට ශිෂ්‍යයන් උත්තේජනය කෙරෙන බවට පවත්නා විශ්වාසයයි. එනම් ඔවුන් සම්ප‍්‍රදායට හා අධිකාරියට ගරු කොට පසුබා නොසිට ස්වාධීනව සිතන්නට ඒ විෂයයන් අනුබල දෙතියි යන විශ්වාසය නිසාය. එසේ සොක‍්‍රටීස් ක‍්‍රමයට තර්ක කරන්නට හැකිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා වැදගත් බව සොක‍්‍රටීස් කී සේම ඔවුහුද විස්වාස කරති.
…………

ආර්ථික වර්ධනය උපරිම කිරීම වෙත නැමුණු ලෝකයක මෙම සොක‍්‍රටික පරමාදර්ශය අනතුරට මුහුණ පා ඇත. අපට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රමාණ කළ හැකි ආකාරයේ විකිණිය හැකි නිෂ්පාදනයක් නම් තමන්ම ස්වාධීනව සිතීමේ හා තර්ක කිරීමේ හැකියාව අනවශ්‍ය දෙයක් යැයි ඇතැමෙකුට පෙනීම පුදුමයක් නොවේ.
……………..

Continue reading බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

Advertisements

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

අප පහත ලිපිය ‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?‘ යන මැයෙන් මුල් වරට පළ කළේ 2007 නොවැම්බර් පළමු වැනි දිනයි. එහි කාලීන වැදගත් කම යළි යළිත් මතුව එන හෙයින් නව පරපුරේ යහපත තකා එය මෙහි යළිත් පළ කරමු.

අපගේ මුල් ලිපියට ‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ යන මැයෙන් ප්‍රතිචාරයක් අමරකීර්ති ලියනගේ සිළුමිණ පුන්කලස අතිරේකයට ලීවීය. එය මෙහි බලන්න.

ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍‘ යන මැයෙන් මෙහි පළ කෙරුණි.

‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම ප‍්‍රතිචාර ලිපිය පළ කිරීමේදී සිළුමිණ, පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. එම කොටස් සඳහා මෙහි බලන්න.

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා
කැමිල පා(ග්)ලියා

Camille Paglia
කැමිල පා(ග්)ලියා

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැතැ’යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්. මේ පිළිබඳව වැඩිදුර සිතා බලන්නට අපට ඉඟිšයක් සැපයෙන අදහසක් සුප්‍රකට අමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑතදී අපට දැක ගන්නට ලැබුණා. ඒ කැනඩාවේ Globe and Mail (October 18, 2007) ජාතික පුවත්පතට කැමිල පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි.

1990 ගණන්වල Sexual Personae නමැති කෘතියෙන් බටහිර කලාවේ සහ සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් සම්පාදනය කළ කැමිල පා(ග්)ලියා ලේඛිකාවක් මෙන්ම කළහකාරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූ බව එම සම්මුඛ සාකච්ඡාව වාර්තා කරන Margaret Wente සදහන් කරයි. Continue reading පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්

හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත.

මහින්ද රාජපක්ෂ රෙජීමය කළ එක් පරඳිනගතිශීලී දෙයක් නම් මේ මධ්යතම පාන්තික කලාකාර රොත්තගේ අවස්ථාවාදය හොඳින් පෙනෙන්නට සැලැස්වීමය.

අබා සිට සිද්ධාර්ථ දක්වා සිනමාවත් මහරජාණෙනි ධාරාවේ ගීතත්, මහාසමයම වැනි නාට්යියත් කරන්නට තැත් කරන්නේ රෙජීමයේ දෘෂ්ටිමය දාසකම් මිස අනිකක් නොවේ.

ප‍්‍රධාන ධාරාවේ සියලූම සංවාද ජැක්සන් ඇන්තනී රණවිරු ස්ටාර් වැනි වැඩසටහනකට ඇවිත් ඇඟමස සලිත කරවා කියන කියන හිස් අලංකාරික වැනිය. ඒ කියමන් රටටම ඇසෙන්නට කිව්වද ඒවායේ නියම ඉලක්ක ශ‍්‍රාවක පිරිස යනු එක් පුද්ගලයෙකු හා ඔහුගේ සහෝදරයන් හා පුතුන් බව මුළු රටටම පැහැදිලිය. ඔහු තරමට ඇඟමස සලිත කරමින් දැඟලූවේ නැති වුවත් ප‍්‍රධානධාරාවේ සියලූ කලාකරුවන් ජැක්සන් ඇන්තනී සංකීර්ණය නම් සමාජ-මනෝ රෝගයෙන් ව්‍යාධියට පත් වූවෝ වෙති. දිවුල්ගනේගේ කටහඬ, රෝහණ වීරසිංහගේ සංගීතය, චන්න විජේවර්ධනගේ නැටුම කිසිම සමාජමය අර්ථයක් නැති උත්සව සැරසිල්ලක් බවට පෙරලී ඇත. නිකම් උත්සව නොව ඒවා රාජ්‍ය උත්සවවල සැරසිලිය. මේ අහඹු ලෙස ගත් නම් කීපයකි. එවැනි කලාකරුවන් පිරිසකගෙන් නව බුද්ධිමය සංවාදයක් වත් අලූත් ආචාරධාර්මික තර්කනයක් වත් බලාපොරොත්තු විය නොහැකිය.

අප මෙහි කතා කරන අලුත් රැඩිකල් කලාකාර ධාරාවේ රචනාවල විරෝධය එල්ල වන්නේ ප‍්‍රධානධාරාවේ මධ්‍යම පාන්තික ජීවිතය වෙත පමණක් නොවේ. සම්භාව්‍යත්වයේ ඇඳුම ඇඳි ව්‍යාජ මධ්‍යම පාන්තික කලාකරුවන් සේම රැඩිකල් ඇඳුම ඇඳි තරුණ පරම්පරාවද මේ කලාකරුවන්ගේ විරෝධයට ලක් වේ. “මාලෙ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලූවේ” යන ගීතයෙන් අලූත් අර්ථ ගෙන ආ හැකි කටහඬින් ගයන ගීතදේවගේ විරෝධය එල්ල වන්නේ තාරුණ්‍යයට රැඩිකල් ආවේශය සැපයිය හැකි වීරයන් මෝස්තරයක් බවට පත් කරගත් බුද්ධිමය වශයෙන් හිස් පරම්පරාවකි. මෙවැනි පරම්පරාවක් යනු යටකී ජැක්සන් ඇන්තනී ධාරාවේ කලාකරුවන්ගේ දෘෂ්ටිමය බංකොලොත් බවට හෝ ඔවුන්ගේ ආචාරධාර්මික පරිහානියට හෝ විකල්පයක් නොවේ.

බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්
ලියනගේ අමරකීර්ති
වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත අලූත් කටහ`ඩක්, අලූත් තනු නිර්මාණයක් සේම අලූත් අදහස් මාලාවක්ද අඩංගු කර ගත්තේය. පැරණී ජීවිතයේ වේදනාව දරා ගත නොහැකිව අලූත් ජීවිතයක් ඉල්ලා ගයන බ්ලූස්, ජෑස්, හෝ රෙගේ සංගීතයකුත් කැලිප්සෝ ගීත රචනා ආකාරයකුත් මට ඒ කලාවෙන් පෙනිණ. ඒ සේරටමත් වඩා සුපර් ස්ටාර් වැනි වෙළඳ ව්‍යාපාරවලින් මතු වූ ගායක ගායිකාවනුත්, දැන් දැන් මල් මල් ආදර ගීත කියන කන්නලව් කටහඬවල් ඇති ජනප‍්‍රිය ගායක ගායිකාවනුත් වෙත නැති අමුතු ගම්බීර කටහ`ඩවල්ද අපේ මේ ගායක පිරිස වෙතින් අපට ඇසිණ. එසේම ඔවුන් ඔස්සේ අපට හමු වූයේ ප‍්‍රධානධාරාවේ චින්තන අච්චුවෙන් පිට පැන සිතන තරුණ කලාකරුවන් එදින මා ලද ප‍්‍රීතිය නිසා මෙම රචනය ලියන්නෙමි.

ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ කලාව පවතින්නේ අර්බුදයකය. ඇතැම් විට මේ අර්බුදය බැලූ බැල්මට නොපෙනෙන්නකි. සමාජයකට පැවතිය හැකි ලොකුම අර්බුදය ඒ සමාජයේ අර්බුද බැලූබැල්මට නොපෙනීයාමය. “බැලූබැල්ම” යනු සිංහලයේ ඇති අපූරු යෙදුමකි. ඉන් අදහස්වන්නේ විචාරාත්මක විනිවිද දැකීමෙන් තොර බැල්මයි. එනම් සාමාන්‍ය දැනීමේ බැල්මයි. අපේ සමාජයේ අර්බුදය විවිධ සැරසිලිවලින් වෙස් ගන්වන්වා ඇති නිසා “බැලූබැල්මේ” සාමාන්‍ය අවබෝධයට ඒ අර්බුදය දැකිය නොහැකිය.

ඒ බැල්මෙන් බලන කල පෙනෙන්නේ ලංකාවේ කලාව සහ කලාකරුවන් ඉතා හොඳින් පවතින බවයි. එක් අතකින් සියලූම ප‍්‍රධාන කලාකරුවෝ විවිධාකාර රජයේ තනතුරු දරා සිටිති. ඇතැම් කලාකරුවෝ වර්තමාන රෙජීමය බලයට පත් වූ පසු අටවාගත් සමාගම් මගින් රජයේ කොන්ත‍්‍රාත් කර මුදල් උපයති. ඒවා නිකම්ම මුදල් නොවේ. වැඩිමනත් ආයෝජනයක් හෝ පුද්ගල කැපවීමක් නැතිව උපයන ක්ෂණික මුදල්ය. ඒවා සුළුපටු මුදල්ද නොවේ. ඒ කොන්ත‍්‍රාත් යනු රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය හෝ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට සෘජුව අවශ්‍ය නොව කොන්ත‍්‍රාත් නොවේ. කලාකරුවන් ලබන කොන්ත‍්‍රාත්වලින් කෙරෙන්නේ රජයේ ප‍්‍රචාරණ ව්‍යාපෘතියේ සැරසිලිවලට දායකවීමය. හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත. මේ සැරසිලි වැඩවලට සම්බන්ධ බිල්පත් පරීක්ෂා කර බැලූවහොත් ඇතැම් කලාකරුවන් උන්හිටි ගමන් කෝටිපතියන් වූයේ කෙසේදැයි දැක ගත හැකිය.

Continue reading බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්