Tag Archives: විසංයෝජනය

ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි (Je suis – I am) කියූ සැනින්ම තමාගේ ආනුභවික පැවැත්මට බාහිරව තම උත්පත්තියටත් පෙර මරණයටත් පසු සදාකාලික පැවැත්මක් ඇතැයි යන අභිමානය ජනිත වන බවත් එය ජීවිතය නිරන්තරයෙන් වෙනස් වන්නක් ජරාවට පත්වෙමින් මරණය කරා ගලා යන පැවැත්මක් ලෙස හිතුවක්කාර අන්දමින් ප්‍රතික්ෂේප කරන්නක් ද වන බවය.”

Continue reading ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

Advertisements

වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර


චිත්‍රපටියක් වියමනක් ලෙස කියවීමේ අදහස “මේ මාගේ සඳයි” චිත්‍රපටිය මුල්කොටගෙන මතු වී ඇති කතා බහෙන් අප සාකච්ඡාවට එකතු වේ තිබේ. කලා කෘතීන් ලෙස සැළකීම පිළිබඳ ව්‍යුහවාදී/පශ්චාත් ව්‍යුහවාදී අදහස් වල මෙන්ම, බටහිර සෞන්දර්ය න්‍යායයන්ගෙන් ද අවධාරණය කෙරෙන කරුණක් නම්, කලා කෘතියක අගය මැනෙන මිම්මක් වන්න් එහි ආකාරය නැතහොත් ආකෘතිය ඒ වෙතම රසික අවධානය ඇද ගන්නා කුමන සුවිශේෂ ලක්ෂණ ප්‍රකට කරන්නේ ද යන්න බවයි. මේ පිළිබඳව මා ඉදිරිපත් කල අදහසක් නම්, චිත්‍රපටියක් වියමනක් වීම පිළිබඳ අදහස අවධාරණය කරන්නේ, එය, ඉන් ඉදිරිපත් කරන දේ හුදෙක් අක්‍රීයව බාරගන්නා මානසික නිද්‍රෝපගත තත්වයකට ප්‍රේක්ෂකයා පත් නොකොට ඇයගේ පරිකල්පනාව අවධි කරන්නේය, ජීවිතාවබෝධය පුළුල් කෙරෙන පරිදි ලොව පවතින මිනිස් සබඳතා දැකීමේ නව මානයක් මතු කරන්නේය යන්න නම් දෙන ලද කෘතියක මෙම ස්වභාවය ගොඩ නැංවීමේ එකම ක්‍රමය එහි ආකෘතියම පමණක් ප්‍රයෝගකාරී ලෙස නිර්මාණය කිරීම නොවේය යන්නයි. එය ආකෘතිය සහ අන්තර්ගතය යන දෙ අංශයම සුසංවාදීව නිර්මාණය කෙරෙන ආකාරයෙන් කල හැකිය. එමෙන්ම ආකෘතිය අතින් සම්මත සම්ප්‍රදායන් අනුගමනය කරද්දීම, අන්තර්ගතය තුළින්, එම කෘතියට තේමාවන සංසිද්ධිය පිළිබඳ සම්මතයන්ට අභියෝග කිරීමෙන් ද, එය කල හැකි යැයි මම යෝජනා කරමි. එහිදී මම තවදුරටත් කියා සිටියේ, ලෙස්ටර්, පතිරාජ, ඔබේසේකර, විතානගේ වැනි ලාංකීය සිනමාකරුවන් වියමනක ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රකට කරන චිත්‍රපට නිර්මාණය කොට ඇති බවයි.

චිත්‍රපටියක් වියමනක් ලෙස කියැවීම පිළිබඳ ඉහත අදහස් වර්ධනය කෙරෙන පරිදි, වසන්ත ඔබේසේකරගේ “දොරකඩ මාරාව” කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අදහස් කරමි. ‘දොරකඩ මාරාව” සිනමා ආකෘතියත්, අන්තර්ගතයත් ඒකාග්‍ර කරමින් වියමනක් ලෙස ඉදිරිපත් කෙරෙන චිත්‍රපටියක් ලෙස මම දකිමි. එය සිනමා කෘතියක් ලෙස අපගේ අවධානය ඒ වෙත ඇද ගන්නේ එහි ඇති කුමන සුවිශේෂ ආකෘතික ලක්ෂණ නිසා ද යන්න පිළිබඳවත් කතාන්දරයක් වශයෙන් ගත් කල එම චිත්‍රපටියේ අන්තර්ගතයම වියමනක් ලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිලිබඳවත් අදහස් ඉදිරිපත් කරමි. (මෙම ලිපිය දියැස සඟරාවේ 2002 12 වන වෙළුමේ 9 වෙනි කලාපයේ ප්‍රථමයෙන් පල විය.) Continue reading වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර

“විසංයෝජනය එතරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් නොවේ” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – පළමු කොටස
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම ඔහුගේ සහායකයෙකු ද විය.“සත්‍යය සහ ක්‍රමය” (Truth and Method) වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියාපෑම අභියෝගයට ලක් කලේය. විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය විවේචනය කල ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික අත්දැකීම, සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් විසින් ඕනෑම යථාර්ත සංජානනයක් අසමත් කරන බවයි. ඔහුට අනුව කෘතියක අරුත අස්ථිර වන අතර කතුවරයාගේ අරමුණ සහ කියවන්නාගේ වැටහීම අතර පරස්පර ව්‍යවහාරය අනුව වෙනස් වේ. නමුත්, සත්‍යය පිළිබඳ අදහස ගැඩමර් ඉවත නොදැමූ අතර විද්‍යාත්මක ක්‍රමය සත්‍යය තහවුරු කිරීමේ එකම මාර්ගයය යන විශ්වාසයට අභියෝග කළේය. පල වන්නේ හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග Theory culture & Society (1988) සඟරාව වෙනුවෙන් රෝයි බෝයින් (Roy Boyne) විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.

රෝයි: දාර්ශනිකයෙක් කෙතරම් බැරෑරුම් විය යුතුද? න්‍යායික කාර්යයට හිමි දුක්මුසු කර්කෂබව චින්තනයේ එකම ශෛලීය වීමට අවශ්‍ය නැතැයි කියවෙන එක්තරා පෙන්වා දීමක් ද තිබෙනවා. කෙනෙක් ෂේක්ස්පියර්ගේ ප‍්‍රහසන මෙන්ම ඉතා විධිමත් දාර්ශනික සම්ප‍්‍රදායන් ඇතුළතදී නීට්ෂේ (Friedrich Nietzshe) ගේ Die Frohliche Wissenshaft (Gay Science) ද ගෙනහැර දැක්වීමට ඉඩ තිබෙනවා. ඉතා මෑත අවධිවලදී නම් ඇත්තේ විසංයෝජනවාදී (deconstructionist) ලිවීමේ ඇති හාස්‍යය ගෙනදෙන ගැරහීමය චින්තන ජීවිතය ගත කළ යුත්තේ තපසෙන්ද?

ගැඩමර් : මම නීට්ෂේ කෘතිය මහත්සේ අගය කරනවා. එය සමහර විට ඔහු ලියූ ඒවායින් හොඳම එකද විය හැකියි. නමුත් එහි මතුපිටින් පෙනෙන හාස්‍යය එහි ඇති සාරය යැයි කීමට නම් මගේ කැමැත්තක් නැහැ. නීට්ෂේ සීමාන්තිකවාදයේ ප‍්‍රාඥයෙක්. ඔහුගේ කෘතිය අකුරෙන් ලියූවද වහා පුපුරණ සුඵ යමක් වාගෙයි.

කෙසේ නමුත්, විසංයෝජනය සම්බන්ධයෙන් සළකා බලන කළ මෙය ඒ තරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් ලෙස මටනම් පෙනෙන්නේ නැහැ. නිදර්ශනයක් වශයෙන් ඩෙරීඩාගේ Eperons ගතහොත් එය සාහිත්‍යමය කී‍්‍රඩාවකට වැඩි යමක් නොවේ. අපගේ මානවීය ආගමික සහ සදාචාරාත්මක ලැදිකම් සහ වුවමනාවන් සම්බන්ධයෙන් එය කිසිසේත්ම පිහිටුවාලිය නොහැකියි. නීට්ෂේට තිබූ සාධාරණ හේතු සමානවන ඒවා විසංයෝජනවාදියාට නම් නැහැ. මන්ද නීට්ෂේ සටන් කළේ ගල් ගැහුන ව්‍යාජ ක්‍රිස්තියානි සමාජයකට එරෙහිවයි. නමුත් මෙම වර්තමාන නීට්ෂියානු ආකල්පයට තම දිශානතිය සොයාගත හැකි තැනක් තිබෙන බවක් මට පෙනෙන්නේ නැහැ. එය වුවමනාවටත් වඩා ස්වාර්ථයම සළකා පවතිනවා. ඉතිං එහි ප‍්‍රතිඵලය වන්නේ එක්තරා ආකාරයකින් තමාවම තෘප්තිමත් කරගැනීමක්.

රෝයි : වර්තමානයේ අප ජීවත් වන්නේ ගල් ගැහුණ ව්‍යාජ ක‍්‍රිස්තියානි සමාජයක නොව අස්ථි මෙන් අනම්‍ය බවට පත්වූ පශ්චාත් – ධනවාදී නිලතන්ත‍්‍ර සමාජයක යැයි කීමට ඉඩ නැද්ද? නූතනත්වය යකඩ කූඩුවක් (iron cage) ලෙසින් වටහාගත් මැක්ස් වේබර්ගේ ප‍්‍රවාදයේ හෝ විචාර බුද්ධියේ විනාශය (destruction of reason) පිළිබඳ ජෝර්ජ් ලූකාෂ් (Georg Lukacs) ගේ වරනැගීම් හී කිසියම් හෝ සත්‍යයක් තිබේ නම් ඩෙරීඩාගේ,ඩෙලියුසේ (Gilles Deleuze) ගේ සහ අනෙක් අයගේ සෙල්ලක්කාර න්‍යායකරණය ඉතා බැරෑරුම් කරුණක් ලෙස, ගල් ගැහුනු තැනට පත් අප ස්වරූපයට එරෙහිව නීට්ෂේ විසින් කුඵ ගැන්වූ ප‍්‍රහාරයක් ලෙස අපට අර්ථ දැක්විය නොහැකිද?

ගැඩමර් ඩෙරීඩා සමග
ගැඩමර් ඩෙරීඩා සමග
ගැඩමර් : සමහරවිට ඒක එහෙම වෙන්න පුඵවන් ඩෙරීඩාගේ මුල් කාලීන ප‍්‍රපංචවේදී කාර්යය කෙරේ මගේ සැළකිය යුතු ගෞරවයක් තියෙනවා. ඒ වාගේම හෛඩගර් මෙන්ම මෑතදී ඩෙරීඩා ද නීට්ෂේ වනාහී පාරභෞතිකවේදියෙකු යැයි දැක්වූ චරිතායනය ප‍්‍රශ්න කිරීම නිවැරදි බව මා පිළිගන්නවා. දාර්ශනික සංගතිය (philosphical coherence) පිළිබඳ ගැටඵව නීට්ෂේගේ සැළකිල්ලට ලක් නොවන තරම්. නීට්ෂේගේ කෘතිය විවෘත ක්ෂේත‍්‍රයක් බව ඇත්තක් නමුත් මෙම කෘතිය තුළ නීට්ෂේ දැන සිටියාටත් වඩා ගැඹුරු වූ ස්ථරයක් හෛඩගර් අනාවරණය කරගන්නවා. බලය වෙත කැමැත්ත සහ නිට්ෂේගේ චින්තනයේ අභ්‍යන්තර විපර්යාසයෙන් අතර පවතින ගැඹුරු සාම්‍යය පිළිබඳ හෛඩගර් විසින් කරන ලද අර්ථ විවරණය නිට්ෂේගේ ස්ථාවරයේ ඇති සීමාන්තික බව (extremism) ට හෙඵ සැබෑ අන්තර් දැක්මකින් යුක්තයි එසේ වුවත් සමකාලීන නීට්ෂියානුවාදය ඉබේම අනුමත කරන තැනට පත්වීමට මාහට හැකියාව දෙන අපේක්ෂාවෙන් සහ පූර්ව කොන්දේසි රැසක් මා සතුව නෑ.

රෝයි : මෙම සීමාන්තිකවාදය නම් මතිය ගැන තව පොඞ්ඩක් කීවොත්

ගැඩමර් : හෛඩැගර් ගැන යමක් කීම මෙහිදී අදාළයි මන්ද ඔහුත් සීමාන්තිකවාදියෙක් මා හට අතිශයින්ම වැදගත් වන දෙයක් වූයේ අතීතයේ සිට අපගේ උග‍්‍ර අවස්ථාවන් දක්වා වූ විකාශනය හෛඩගර් විසින් විශ්ලේෂණය කර දක්වනු ලැබීමයි. එනම් අපගේ තාක්ෂණික යුගය වනාහී ග‍්‍රීක ආරම්භයේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ කෙසේද යන්න පෙන්නුම් කරමින් හෛඩගර් අදහස් පිළිබඳව සමස්ථ අපරදිග ඉතිහාසයේ අභ්‍යන්තර ප‍්‍රතිඵලය වන අභ්‍යන්තර සංගතිය වැඩි දියුණු කර දැක්වීමයි මට අභාෂයක් බවට පත්වූයේ මෙම අභ්‍යන්තර සංගතියයි. ඇරිස්ටෝටලියානු ශෛලිය අතින් ගත් කළ සාධ්‍යතා (teleological) භෞතිකවේදී පද්ධතියක් සහ පාරභෞතිකවේදී පද්ධතියක් නූතන සමාජීය ප‍්‍රයෝජ්‍යතාවාදී සහ කාර්මික විප්ලවයකින් කෙළවර වීම වැන්නක් කෙසේ සිදුවිය හැකිව තිබුණේදැයි යන්න පිළිබඳ ළඟන්නා අන්තර් දැක්මක් මා හට දුන් පළමුවැන්නා හෛඩැගර්. මේ දක්වා මම බොහෝ දේ එයින් ඉගෙන ගෙන තිබෙනවා. අනෙක් අතට නීට්ෂේගේ අවසාන මිනිසා (last man) යන්න සමඟ සමාන්තරව පවතින යමක් වන පැවැත්ම සම්පූර්ණයෙන්ම අමතක වන සුලුවීම (complete forgetfulness) පිළිබඳ හෛඩගර්ගේ දැක්ම ගැන මට ඒ තරම් ස්ථිර වෙන්න බෑ. පර්යාලෝකයන් වශයෙන් මෙම අදහස් දෙක සතුව ඒවාට හිමි අදාළත්වය තිබෙනවා. නමුත් ඒවා තනි තනිව හෝ ඔවුන්ගේ චින්තනයේ අග‍්‍රස්ථාන ලෙස හෝ නොගත යුතුයි. මේ නිසා අප සුරැකිය හැක්කේ දෙවි කෙනෙක් විසින් පමණකැයි හෛඩැගර් කියන විට මම ඔහුව පිළිපදින්න යන්නෙ නෑ. පැවැත්ම සම්පූර්ණයෙන් අමතක වන සුළුවීම ඉෂ්ඨ කරගත හැකි යමක් නොවෙයි. මානව ජීවිතයෙන් මරණය කිසිදා මුලිනුපුටා දැමිය නොහැකිවාක් මෙන් කාර්මික තාක්‍ෂණික විප්ලවය මානව තත්ත්වය මුළුමනින්ම විපර්යාසයට ලක් නොකරනු ඇතැයි මට නම් නිසැකයි.

රෝයි : ඔබගේ කෘතිය වහා විනිවිද පෙනෙන සුළු යැයි කීම සත්‍ය නොවූවත්, ඔබගේ සත්‍යය සහ ක‍්‍රමය (Truth and Method) නම් කෘතිය සමඟ හෛඩගර්ගේ පැවැත්ම සහ කාලය (Being and Time) කෘතිය සැසඳූ විට පෙනෙන දෙය නම් ඔබගේ කෘතිය හෛඩැගර්ගේ කෘතියට වඩා පාරදෘශ්‍ය බවින් වැඩි බවයි. මේ ගැන ඔබගේ අදහස් පළ කරන්න පුළුවන්ද?

ගැඩමර් : මම හෛඩගර් සමඟ මාව සන්සන්දනය කරන්න යන්නේ නැහැ. කිසිම සැකයක් නෑ. ඔහු නිරපේක්‍ෂවම පළමු පෙළේ චින්තකයෙක්. නමුත් මා කිවයුතු යම් දෙයක් තිබේ නම් ඒ මෙයයි. ප‍්‍රකාශකයන්ගේ නියම අභිප‍්‍රාය නොව වචන වල රහස් කතා කිරීමට ඉඩ දීම අතින් හෛඩැගර් ඉන්ද්‍රජාලිකයෙක් වුණා. හෛඩගර් විසින් කරන ලද වචන පිළිබිඹු වූ අනාවරණයන්ගේ බලය නම් ඔහුගේ නිර්මාණශීලී ජීව ගුණය සහ පඨිතය (text) අතර සත්‍ය හමුවක් ඇති කිරිම නම් ප‍්‍රතිඵලය ඒවා සතුව තිබීමයි. මගේ ක‍්‍රියාමාර්ගය වඩා ද්වන්ධාත්මකයි (dialectical). මා හට නම්, පඨිතය හා සම්බන්ධ හමුවීමේ හරය පවතින්නේ විතර්කණයේ සහ මැදිහත්වීම් අඛණ්ඩ ගලායාම තුළමයි. හෛඩැගර්ගේ මෙම නිරන්තර කුපිත කරවන සුළු බල කිරීම එහි නැහැ. යුර්ගන් හබර්මාස් වරක් පැවසුවේ හෛඩැගර්ව නාගරීකරණය කළ පුද්ගලයා මම බවයි. ඉතින් බොහෝ සෙයින් සංවාදශීලී ස්වභාවයක් මගේ ලිවීම වසා පවතින බව සත්‍යයක්. මම අනෙක් අයට සවන්දීමට කැමතියි. ඒවගේම මා හට එරෙහිව ඔවුන්ගේ තර්කයේ ඇති ශක්තිමත් තැන සෙවීමට සහ පිලිගැනීමට හැමවිටම මගේ නැඹුරුවක් තියෙනවා. හෛඩගර් එවැනි කෙනෙක් නොවෙයි.

රෝයි : ඔබ විස්තර කරන හෛඩගර්ගේ දර්ශනයේ ඇති මෙම ප‍්‍රතිතෝලන (countervailing) නිර්මාණශීලී බලවේගයට ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කිරීමට කාර්යභාරයක් තිබුණාද?

ගැඩමර් : හෛඩගර්ගේ දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය සිද්ධිය බොහෝ දුරට තේරුම් ගත යුත්තේ ඔහු, සීමාන්තික අරුතකින්, ඒසා ශ්‍රේෂ්ඨ මිනිසෙක් යන කරුණට සම්බන්ධවයි. ඔහුට සංස්කෘතික පසුබිමක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු සෑම දෙයක්ම මුදුන් පමුණුවා ගත්තේ ඔහුම මහන්සි වී වැඩ කිරිමෙන් සහ ඔහු සතුවූ අතිවිශාල ඒකාග‍්‍රතා බලයෙන්. කිසිම දෙයක් සම්බන්ධයෙන් ඔහු කිසිවෙකුටත් ණයගැති නෑ. තමා නිර්මාණශීලී ලෙසින් පැවැත්ම යන්න යළි සොයාගත් අවස්ථාව සහ භූමිය යන කරුණ සම්බන්ධයෙන් හැරුණු විට ඔහු තම දාර්ශනික සම්ප‍්‍රදායටවත්, තම ගුරුවරුන්ටවත් ණය ගැති නෑ. නාසි ව්‍යපාරය සතු විප්ලවකාරී ජවය ශ්‍රේෂ්ඨ චින්තකයෙක් විසින් වංශවත් කළ හැකියැයි විශ්වාස කරන තැනට ඔහු පත්වූයේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන්නේ සමහර විට මෙම ස්වයං – සංවර්ධනයෙන්, ඔහුගේ මුළු ජීවිතය පුරාම වූ තමාගේ තැන තමාම පිහිටුවා ගන්නා ස්වරූපයෙන් (autocephalous character) වෙන්න පුළුවන්. කිසිම සැකයක් නෑ මේක මතිභ‍්‍රමයක්, භයානක මතිභ‍්‍රමයක්, ඒවාගේම වසරක් ගතවීමෙන් පසු ඔහු මෙය වටහාගත්තා. ඔහුගේ මතිභ‍්‍රමය, ඔහු ප‍්‍රසිද්ධියේ පාපොච්චාරණය නොකරන්න හේතුව මානවීය සීමාවන් පිළිබඳ ප‍්‍රශ්නයක් බවයි මගේ විශ්වාසය. ඔහුගේ වැරැද්ද ඔහු පිලිගත්තත් එය කීමට තරම් සංවේදී වුණේ නැහැ.

රෝයි : හෛඩැගර්ගේ ජීවිතයේ එම අතුරු කතාව, ඔබ විස්තර කළ ආකාරයෙන් කෙනෙක් තීරණය කරන්න ඉඩ තියෙනවා. චින්තනය සහ සැබෑව අතර සහ න්‍යාය සහ භාවිතය අතර පරතරය අවම කිරීමට ජාතික සමාජවාදය දර්ශනවාදය සඳහා අවස්ථාවක් දී ඇතැයි හෛඩගර් සිතූ බව. මෙම භේදය පිළිබඳ සංජානනය හා පරීක්ෂාව දාර්ශනික සම්ප‍්‍රදාය මත වූ බොහෝ ප‍්‍රහාරයන්ට සැබැවින්ම කේන්ද්‍රය වී තිබෙනවා. මින් වඩාත් බලවත් එකක් වන්නේ හේගල් පිළිබඳ මාක්ස්ගේ පරීක්ෂාව. ඔබගේම කාර්යයට ප‍්‍රායෝගික ආදාළත්වයක් තිබේ යැයි ඔබ සිතනවාද?

ගැඩමර් හෛඩගර් සමග
ගැඩමර් හෛඩගර් සමග
ගැඩමර් : මෙම ප‍්‍රශ්නයට මට්ටම් දෙකකින් උත්තර දෙන්න මට ඉඩ දෙන්න. සියල්ලටම පෙර, මගේ කාර්යයට ලැබුණු යම් යම් ප‍්‍රතිචාර වලින් මම වඩා තෘප්තියට පත් වූ අවස්ථා තියෙනවා. එවැනි ප‍්‍රතිචාර තුනක් සැනෙන් මගේ මතකයට නැගෙනවා. සංවාදකරණය (dialogizing) පිළිබඳ මගේ න්‍යායෙන් ආභාෂය ලැබූ මානවවංශවේදීන් කණ්ඩායමක් එවන ලද ලිපි සහ රචනා ගණනාවක් එක් දිනකදී කැලිපෝනියාවෙන් මට ලැබුණා. එකෙකුගේ පර්යාවලෝකනයෙන් සත්‍යය උදා නොවන්නේය යන ප‍්‍රවාදය ඔවුන් බැරෑරුම් ලෙස සළකා බලා තිබුණා. ඒ වගේම මානවවංශවේදී (ethnological) සම්ප‍්‍රදායේ ස්ථාපිත වාස්තවීකරණවාදයෙන් (objectivism) වැළකීමට ඔවුන් ඉගෙන ගනිමින් තිබුණා. ඔවුන්ගේ අදහසට අනුව මෙම නැවත දිශානතිගත වීම, නව අන්තර් දෘෂ්ටීන් සහ න්‍යායික සංවර්ධනයන් පිළිබඳ පොරොන්දුවක් ලබා දෙනවා. මෙහිදී අවධානමේ ඇති දෙය නම් ඇත්තෙන්ම මානවවංශවේදී සත්‍යය පිළිබඳ පද්ධතික ක‍්‍රමයේ ප‍්‍රගතියක්. දෙවන ප‍්‍රතිචාරය ලැබුණේ ඔක්ස්ෆර්ඞ් හි ගෘහ නිර්මාණ ශිල්ප ගුරුකුලයකින්. කලාව පිළිබඳ බොහෝ නූතන සිතීම් ලාක්ෂණික කර දැක්වෙන විසංදර්භීයවාදය (decontexualism) ගැන මගේ පරික්ෂාව ඔවුන් අනාවරණය කරගෙන තිබුණා. කලාව අතීතයේ සංගතිය හා සන්දර්භය තුළින් අර්ථ දැක්විය යුතුය යන පැරණි සත්‍යයෙන් මඟපෙන්වනු ලැබූ ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය භාවිතාව රඳා පවතින්නේ නූතනවාදී ගෘහ නිර්මාණශිල්පය ඉරණම්කාරී ලෙස සළකුණු කෙරුණ ඓතිහාසික හුදෙකළා පිළිවෙත (historical isolationism) ප‍්‍රතික්ෂේප කිරීමක් මත. අවසාන වශයෙන්, හයිල්ඞ්බර්ග් හි විද්‍යා ශාස්ත‍්‍රාලයට මම මගේ ඉදිරිපත් කිරීමක් කළ අවස්ථාව පිළිබඳ තෘප්තිමත් මතකයක් මට තියෙනවා. බලාපොරොත්තු වූ තරමටම මගේ මාතෘකාව වූයේ අර්ථකතනවේදය පිළිබඳවයි. ඒ වගේම නීතිවේදීන් ගණනාවකගේ පැත්තෙන් නීතිවේදී අර්ථකථනවේදය නව පණක් ලැබීමෙහිලා පවතින ප‍්‍රාරම්භක අපක්ෂපාතී බව පැහැදිළිව දකින්න හැකි වුණා. කෙසේ නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සිත් වෙනස් කර ගත්තා.

මෙම ප‍්‍රශ්නය දෙවන මට්ටමකදී ඇමතීම සඳහාහැරල්ඞ් ගාර්පින්කල් (Harold Garfinkel) ගේ දේශනයකට සවන්දීමෙන් අනතුරුව ඔහු හමුවීමට ලැබීම සිහිපත් කරන්න කැමතියි. මම ඔහුට පවසා සිටියේ ඔහු ඇරිස්ටෝටල්වාදියෙක් බව සමහරවිට ඔහු නොදන්නවා විය හැකි බවත් ඔහු කරමින් සිටින දෙය ඇරිස්ටෝටල් ප‍්‍රායෝගික දර්ශනය යැයි කියූ දෙය බවත්ය. එනම් සංයුක්ත තත්ත්වයන් තුළින් පොදු රීති අනාවරණය කරගැනීම ඔහු කලේ නැහැ. නමුත් ඊට වෙනස්ව සංයුක්ත අත්දැකීම් වලින් මතුවන පොදු රීති කෙරේ යොමු කිරීමයි ඔහු කළේ. මේ සඳහා වූ ඔහුගේ ප‍්‍රතිචාරයෙන් කියැවුණේ: “ඉතිං, මගේ කිසිම විරෝධයක් නෑ. මම ඇරිස්ටෝටල්ගේ මාර්ගයේ යනවා කියන ඔබගේ කියමනට.” මෙහි ඇති වැදගත් කරුණ නම් අර්ථකථනවේදය යනු ප‍්‍රායෝගික දර්ශනවාදය නව්‍යතාවයට පත් කිරීමය යන්න දැක්වීමයි. න්‍යාය පිළිබ ඳ, එනම් යථාර්ථය පැහැදිළි කිරීම සඳහා වූ උපකරණයක් ලෙස ගන්නා න්‍යාය පිළිබඳව ඇති නූතන සංකල්පය, භාවිතය පිළිබඳ සමස්ථ සංකල්පයම විකෘති කොට තිබෙනවා. නමුත් න්‍යාය කියන්නේ මානව සත්ත්වයන්ගේ ආකල්පයක්. මෙම ආකල්පය සඳහා ස්වයං-පාලනය සහ ශික්ෂණය විශාල වශයෙන් අවශ්‍යයයි. ඒවා විද්‍යාත්මක සංස්කෘතියක් තුළදී නීට්ෂේ අගය කළ සද්ගුණයන් (virtues). එවිට, න්‍යාය යනු මානව භාවිතයේ ආකාරයක්: භාවිතය යන්න න්‍යායක් ආදේශ කිරීමක් ලෙස දැකිය යුතු නැහැ.

රෝයි : න්‍යාය පිළිබඳ ඔබගේ සංකල්පනය කිසියම් වෙනමම තෝරාගත් යථාර්තයකට ආදේශ කරන උපකරණයකට වඩා ලෝකය තුළ ඉඳීමේ ආකාරයක් නම්, එක්සත් ජනපදයේ දැනට කෙරීගෙන යන ඔබගේ බොහොමයක් කාර්යය සමග එය සුළු වශයෙන් විරුද්ධාභාසීය නොවේ ද?

ගැඩමර් : 1945 සිට ජර්මනියේ අර්ථකතනවේදී දර්ශනයට එරෙහිව ඒක පාර්ශවීය ප්‍රතික්‍රියාවක් තිබිලා තියනවා. එය අඩු හෝ වැඩි වශයෙන් ජර්මන් සංස්කෘතියේ ව්‍යසනය මගින් කුපිත කරන ලද්දක්. එවැනි විනාශදායක විපාක වලින් යුතු යැයි පෙනෙන සංස්කෘතික ආකාරයන් සමග ගමන් කිරීමේ පසුබෑමක් තිබුණා. දැන් ඇමරිකානු සංස්කෘතියේ අධිපති ඌරුව විශ්ලේෂී ශෛලිය. විශ්ලේෂී කාර්යය ඉතා බැරෑරුම් බුද්ධිමය කාර්යක් වුවද, ඉන් අනෙක් චින්තන ප්‍රකාරයන් පිළිබඳ පිළිගැනීමක් නැහැ. එහි සංස්කෘතික භෝජනය කර්කශ එකක්. මම මාගේ අර්ථකතනවේදී ක්ෂිතිජය ඉදිරිපත් කල විට ඇමරිකානු ශාස්ත්‍රඥයෝ බොහෝ දෙනෙක් එය ඉතා ඵලදායි විය හැකි බව අවබෝද කර ගන්න තැනට පත්වුණා. මම මෙම නව කලාපයට අත ගැසුවේ පුරෝගාමීයෙකු ලෙස නොවේ – එවැනි උනන්දුවක් මට තිබුණේ නැහැ – ඒ පරිවර්තනය පිළිබඳ මා තුළ සුවිශාල විශ්වාසයක් නැති නිසා. පරිවර්තනය අදහස්වල පරමාදර්ශීය මැදිහත්වීමක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ. අනෙක් අතට විදේශීය භාෂාවක් කතා කරන්නෙකුගේ සීමිත ප්‍රවීණත්වයකින් යුතුව පවා ගැටලුකාරී බව අඩු මැද පිහිටි ගණුදෙනුවක් ගොඩ නගන්න පුළුවන්. පසුගිය අවුරුදු පනහ තිස්සේ වැඩෙන සුළු ලෙසින් මේ පිළිබඳ ප්‍රමාණවත් සාර්ථකත්වයක් මා භුක්ති විඳ ඇති බව මට හැඟෙනවා. මා හට එය ඉතාමත් උත්තේජනාත්මක වී ඇති අතර මම ඉන් බොහොමයක් ඉගෙනගෙන තියනවා.

“මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

අර්ජුන පරාක්‍රම
අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාද” සංවාදයෙන්……………..

දීප්ති: ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිළි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.

අර්ජුන: ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති………

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති කුමුදු කුසුම් කුමාර විසින් සංවිධානය කරන ලද සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයේ දෙවන කොටසයි.එම දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය.

පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? – දෙවන කොටස
මේ ආදී වශයෙන් උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඊට වඩා ප්‍රායෝගිකයි මම මේ දැන් කියපු දේවල්. ඒ අවදානමත් අභියෝගයක්, එහි වැදගත් කමත් අපට දකින්න පුළුවන් දීප්තිගේ ලිපි දෙක පොඩ්ඩක් පරීක්ෂා කලොත්. නමුත් මම මුලදි කිව යුතු දෙයක් තියනවා. මම හිතන්නේ දීප්ති විතරයි මේ සංකල්ප තුළින් (විශේෂයෙන්ම නූතනවාදී සංකල්ප) අපිට අදාළ යථාර්ථය තේරුම් ගැණීමට හෝ ඊට එරෙහි වීමට යම්කිසි විදිහේ ප්‍රයත්නයක් දරන්නේ. දීප්තිගේ මෙම සාර්ථක අසාර්ථක මධ්‍යයේ (Nexus) අපට එය දකින්නට පුලුවන්. අනෙක් අයගේ මැදිහත් වීම්වල ප්‍රයෝජනයක් නැහැ. මොකද බොහෝ විට බොරුවක් කරලා තියෙන්නේ. මන්ද එකක් අරගෙන කොකිස් අච්චුවෙන් වගේ කොකිස් හදලා තියෙනවා. දීප්ති විතරයි මේ සංකල්ප තුළින් ඇත්තෙන්ම අලුත් දෙයක් ලබා ගන්න උත්සාහ කරලා තිබෙන්නේ. මම මෙතනදි විශේෂයෙන්ම සඳහන් කරන්නේ ප්‍රවාද 8 හා 9 කළාපවල පළ වූ ලිපි දෙක ගැනයි.

දීප්තිගේ මෙම ලිපි දෙකටත් වඩා ඉතාම පුහුයි, බොළඳයි ප්‍රවාද කතුවැකිය. මෙම කතුවැකියෙන් පශ්චාත් නූතනවාදය ගැන කථා කරනවා. ඒකෙන් කරන්නේ මුලදි අපි කථා කලා වගේ, නම් දාන එකයි. අපට ඉතාම වැදගත් වන්නේ මේ ප්‍රායෝගික දෙයයි. එනිසා මා මෙය කියවන්නම්. “මෙවර ප්‍රවාද සඟරාවෙන් අපට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ පශ්චාත් නූතනවාදය යැයි හැඳින්වෙන සමාජ න්‍යාය ආශ්‍රය කොටගෙන සැකසුනු විග්‍රහයන් කීපයකි.” කවුද මේ කථා කරන “අප”, “එනම් සාම්ප්‍රදායික න්‍යාය ප්‍රවේශයන් හා විග්‍රහයන් වෙතින් අප ලබා ඇති බුද්ධිම සැප පහසුකම පශ්චාත් නූතනවාදය විසින් ඉතා දැඩි ලෙස ප්‍රශ්න කරනු ලබන හෙයිනි”. මේ “අප” යි මුලින් “අප” යි මට හිතෙන්නේ වෙනස්. මෙහි අන්තිමට කථා කරනවා “පශ්චාත් මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනාදී සංකල්ප මෙන්ම ලුවී අල්තුසර්, මිෂෙල් ෆුකෝ, ලියොතාද්, උම්බර්ටෝ ඊකෝ වැනි පුද්ගල නම් ද අපට දැන් හුරුපුරුදු ඒවාය”. කවුද මේ “අප” මම නම් දන්නේ නෑ. ඇත්තෙන්ම මම දකින්නේ මේ “පශ්චාත් නූතනවාදී යකා” කියන තැන ඉඳල ඒ වෙනුවට “පශ්චාත් නූතනවාදී දෙවියෙක්” බිහි කරනවා මෙතන. මෙ පශ්චාත් නූතනවාදී දෙවියාට පුළුවන්ලු පශ්චාත් මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදය දැඩි ලෙස ප්‍රශ්න කරන්න. ඒ සියල්ල ඈඳී තිබෙන්නේ එක්තරා විශේෂ නූලකිනි. ලුවී අල්තුසර්, මිෂෙල් ෆුකෝ, ලියොතාද් කොහෙ නූල්ද මේවා. ඇත්ත වශයෙන්ම මම කියන්නෙ මෙතන තියෙන්නේ දන්න නම් ටික යොදා පෙන්වීමක් (Name dropping). මම දන්නවා ඒ නම් ටික. නමුත් දීප්ති ලඟ මේ වගේ වැඩ නැහැ. බලන්න මෙතන කියනවා “යුරෝපීය පශ්චාද් ප්‍රබුද්ධවාදී බුද්ධිමය ව්‍යාපෘතිය වූ ධනේශ්වර සමාජ න්‍යාය මෙන්ම මාක්ස්වාදය විසින් සංකල්පගත කරනු ලබන ප්‍රගතිය හා නවීනත්වය පිළිබඳ ඓතිහාසික දෘෂ්ඨිපතය විසංයෝජනය කිරීම හා එම දෘෂ්ඨිපතයම ප්‍රශ්න කිරීම පශ්චාත් නූතනවාදී චින්තනයේ ආරම්භක කාර්යයක් විය.

ගිලස් ඩෙලියුසෙ, ශන් පෝල් සාත්‍රෙ සහ මිචෙල් ෆූකෝ
ගිලස් ඩෙලියුසෙ, ශන් පෝල් සාත්‍රෙ සහ මිචෙල් ෆූකෝ
ඇත්තෙන්ම මම ජනාධිපති වුනොත් වෙන කිසිම දෙයක් කරන්නේ නෑ, විසංයෝජනය කියන වචනය තහනම් කරනවා. අද හැමදෙයම විසංයෝජනය කිරීමට කථා කරනවා. ඩෙරීඩා කවදාවත් මෙම වචනය භාවිතා කලේ නැහැ. මොකද ඒක සෙල්ලමක් නොවෙයි. එයින් කථා කරන්නේ මහා පුළුල් දෙශපාලනයක්. නමුත් විසංයෝගතාවාදය ගැන කථා කරන්නනම් තවත් දේශන 10ක් පමණ අවශ්‍ය වෙයි. මට වඩා ඒ ගැන දන්න කෙනෙක් අවශ්‍යයි. නමුත් මෙහි අවදානම මම කියන්නම්. මේක අපි ඉගෙන ගන්නා සෙල්ලමක් නම් ඒක බොහොම සරළ දෙයක්. මේක බොහෝම පැහැදිලිව පේනවා දීප්තිගේ ලිපිවල.

තව දුරටත් ප්‍රවාද කතුවැකිය මෙසේ කියනව. “කාර්මික ධනවාදය හෝ වේවා, සමාජවාදය හෝ වේවා වශයෙන් සංකල්ප ගත කරනු ලැබූ ඓතිහාසික ඉරණමක් කරා මනුෂ්‍ය වර්ගයා ගමන් කරන නවීනත්වයේ මහා ආඛ්‍යානය අපේ නූතනවාදී බුද්ධිමය නිර්මිතය ද වෙයි”.

මෙයින් පෙන්නුම් කරන්නේ, නවීනත්වයේ මහා ආඛ්‍යානය වෙනුවට මේ අය පශ්චාත් නූතනවාදයේ මහා ආඛ්‍යානය නිෂ්පාදනය කරන බවයි. මේක එකක් අයින් කරලා තව එකක් දා ගැනීමක්. දැන් බලන්න අපේ රැඩිකල් දේශපාලන සංස්කෘතිය හා බුද්ධිමය ව්‍යාපෘතීන්ට වැදගත් ආභාෂයක් ලැබෙනවලු, පශ්චාත් නූතනවාදයෙන්. ඒ වගේම මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතින් පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවි ‍කෙනෙක් කරලා තියෙන්නේ. Continue reading “මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා නිපුණයෙකු වූ ඔහු බටහිර මෙන්ම පෙරදිග දර්ශනයන් පිළිබඳ විශාරදත්වයක් පල කලේය.

කලක් මාක්ස්වාදියෙකු වූ ඔහු විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්විය. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ට ද උපදේශකයෙකු වීය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද සමාජ, දේශපාලන හා සංස්කෘතික කරුණු අරභයා ඔහු විචාරශීලී මැදිහත්වීමක් කල අතර පශ්චාත් ව්‍යුහවාදී අදහස් සිංහලෙන් හඳුන්වාදීමේදී පුරෝගාමී විය.පසුගිය කාලයේ විශ්ව විද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතද බොහෝ කණ්ඩායම් ඔහු සහ ඔහුගේ දැනුම හඹා පැමිණි අතර “එක්ස්” කණ්ඩායම ඔහු ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා යැයි වරක් තම සඟරාවක දැක්වීය.

එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය
එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය

අප පහත යළි පළ කරන්නේ 2003 මැයි 28 වෙනි දින දිනමිණ පුවත්පතේ පලවූ නලින් ස්වාරිස් සමග ශෂී ප්‍රභාත් රණසිංහ කල සම්මුඛ සාකච්ඡාවකි.

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

ශෂී ප්‍රභාත් රණසිංහ (මම) :

වර්තමාන සමාජ සාහිත්‍ය සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන “පශ්චාත් නූතනවාදය” කසායක අනුපාන ගානට අද පත් වී තිබෙනවා. ඒත් ලංකාවේ ඇතැම් බුද්ධිමතුන් කියන්නේ ලංකාවේ උපන් පශ්චාත් නූතනවාදී යෝධ පැටියා තිඹිරිගෙයිම මිය ගිය බවයි. ශ්‍රී ලංකාවට පශ්චාත් නූතනවාදය හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔබ මේ පිළිබඳ දරන අදහස පැහැදිලි කලොත්?

නලින්:

අප පශ්චාත් නූතනවාදය හැදෑරිය යුත්තේ එය අවිචාරවත් ලෙස අනුකරණය කිරීම සඳහා හෝ එය හුදු විලාසිතාවක් බවට පත් කර ගැනීම සඳහා හෝ නොවෙයි. පශ්චාත් නූතනවාදය හා සම්බන්ධ ඇතැම් අංග ලක්ෂණ හා විශ්වාස අපගේ සංස්කෘතියට හා චින්තන රටාවන්ට කොයිතරම් දුරට ගැළැපේ ද යන්න මුළින්ම අප සිතා බැලිය යුතුයි. ඇතැම් ඒවා අපේ සංස්කෘතිය හා චින්තන රටා තුලනාත්මක පදනමක පිහිටා අවලෝකනය කිරීමට අනුබලයක් වීමටත් පුළුවන්. කවුරු කොහොම කිව්වත් මේ විචාරවාදය විචාර පූර්වකව විමසීම අපගේ යුතුකමක්. එක්දහස් නමසිය අසූ ගණන්වලත් අනූගණන් වලත් පශ්චාත් නූතනවාද ලොව පුරා බුද්ධිමතුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගියා. නමුත් අද එහි ප්‍රභාව කෙමෙන් අඩු වෙමින් පවතිනවා‍. වෙනත් විචාරවාද වගේම පශ්චාත් නූතනවාදයත් තව දශක දෙකකින් පමණ මැකී යාමටත් ඉඩ තියෙනවා. ඒත් අප අවට ඇති ලෝකයත්, සත්තාවත් අවබෝධ කරගැනීමට දරන ලද පරිශ්‍රමයක් ලෙස එය විමර්ෂණයට ලක් කිරී‍මෙන් අපගේ විචාර බුද්ධිය පුළුල් කර ගත හැකියි.

Modern යන වචනය Modo යන ලතින් වචනයෙන් එන්නකි. එහි තේරුම Just Now “මේ දැන්” නැතිනම් “තත්කාලීන” යන්නයි. ඒ අනුව තත්කාලීන යන අර්ථයට “නවීන” හා “ප්‍රගතිශීලී” යන අර්ථයන් ලැබුනේ බටහිර ව්‍යවහාරය තුළින්.

“නවීන” හා “ප්‍රගතිශීලී” යන යන අදහස් ඇති වන්නේ 18 වන ශතවර්ෂයේදී ඇතිවන ප්‍රබුද්ධත්වයේ යුගයත් (Enlightenment) සමඟය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ යුරෝපය, කතෝලික ප්‍රොතෙස්තන්ත්‍ර ආදී වශයෙන් ආගමිකව බෙදී බයිබලයේ “නියම අර්ථයත්” දෙවියන්ගේ “නියම අයිතිකරුවන්” උදෙසා දරුණු ලෙස සටන් වැදුනා. මේ ලේ වැගිරීම් මැද එකල සිටි බුද්ධිමතුන්ට ක්‍රිස්තියානි නිධානය හා උරුමයන් මෙන් එහි වටිනා සාරධර්ම රැක ගත හැක්කේ කෙසේද යන ගැටලුව මතු වුනා. මෙහිදී අන්ධානුකරණයෙන් ආගමික වත්පිළිවෙත් වලට පදනම් වූ විශ්වීය සදාචාරික මගක් ගැනීම ඊට ඔවුන්ගේ පිළිතුර වුනා. මේ විශ්වීය සදාචාරය ඓතිහාසිකව විකාශණය වූයේ බටහිර ශිෂ්ටත්වය පෙරටුකොට ගෙනයි. බටහිර ශිෂ්ටත්වය නොකඩවා ඉතිහාසය තුළ යුගයෙන් යුගය පරිණාමය වෙමින් පැමිණ බටහිර හා බටහිර නොවන සමාජ අතර එක්තරා බෙදීමක් ඇති කලා. මෙහිදී බටහිර “නවීනය”, “ප්‍රගතිශීලීය” යන්නත්, බටහිර නොවන සමාජ “සම්ප්‍රදායික” හා “ගතිකත්වයෙන්” තොර ඒවා ලෙසටත් වර්ග කෙරුණා.

එහෙයින් සෙ‍සු ලෝකය ශිෂ්ට කර ඔවුනට නව ජිවනයක් සළසා දීමේ ව්‍යාපෘතිය බටහිර භාර ගත්තා පමණක් නොව යුරෝපයේ යටත් විජිත ව්‍යාපාරය සාධාරණීකරණයට ද අවස්ථාවක් එමඟින් සැලසුනා.

මේ ලෙසින් “නවීන” හා “ප්‍රගතිශීලී” ගමනක් යාමට විසිවෙනි ශතවර්ෂයට පය තැබුවේ එය ශිෂ්ටත්වයේ හිනිපෙත්තටම යන රන් යුගයක ආරම්භයක් යන බලාපොරොත්තුව ද විශ්වාසය ද කැටුවයි. නමුත් “රන් යුගයට” පය තැබූ සැනින් පළවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වී මිලියන ගණන් ජනයා මරා දැමුනා. ඉන් දශක දෙකක් ඉකුත් වීමට මත්තෙන් දෙවන මහා ලෝක සංග්‍රාමය එළැඹිණි. එහිදී ද මිලියන ගණනක් ජනයා මරා දැමූ අතර මිලියන 8 ක ජනතාවක් (යුදෙව්වන් හා වෙනත් ජාතීන්) නට්සින් විසින් “දැනුවත් සැලසුමකට”අනුව සමූල ඝාතනය කළේ ශිෂ්ට යුරෝපයේ හදවත බඳු වූ ජර්මනියේදී. හැඟීම් විරහිතව විචාරශීලී ආකෘතියකින් මෙසේ ක්‍රියා කිරීමෙන් විචාරශීලී බටහිර පුරුෂයාගේ ශිෂ්ටත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය සහමුලින්ම කඩා වැටුණා. ශිෂ්ටත්වය මැනීමේ මිම්ම ලෙස “බටහිර ශිෂ්ටත්වය” එනම් තමාව පූර්වාදර්ශයට ගත යුතු යයි පුරසාරම් දෙඩූ අභිමානය දෙදරා වැටුණි. ප්‍රගතිශීලී නවින ගමන වෙනුවට මානව වර්ගය ඉතා ම්ලේච්ඡ ප්‍රාථමික අවගමනයකට පසු බැස්සවූ නූතනත්වයේ ව්‍යාපෘතිය මුළුමනින්ම අර්බුදයට පත් වුනා. මේ බටහිර ශිෂ්ටත්වය තුළ තිබූ අර්බුදය පශ්චාත් නූතනවාදී තත්ත්වයයි. කෙටියෙන් කියතොිත් නිදහස් විචාරශීලී බටහිර (සුදු) පුරුෂයාගේ ශිෂ්ටත්වය කරා යන (නවීන ප්‍රගතිශීලී) ඓතිහාසික ව්‍යාපෘතිය කඩා වැටීම “පශ්චාත් නූතනවාදී” තත්ත්වයයි.

එදා හිටපු බුද්ධිමතුන් අන්ධ විශ්වාසවල පිහිටාගෙන සාරධර්ම ස්ථාපිත කරන්න උත්සාහ කළා. නමුත් විචාර බුද්ධියෙන් මෙය සාර්ථකව ඉටු කලේ බුදුන්වහන්සේ විතරයි. මේ නිසා අපගේ අරමුණ විය යුත්තේ පශ්චාත් නූතනවාදය විචාරාත්මක විශ්ලේෂණයකට ලක් කිරීම විනා එය අන්ධ භක්තියකින් යුතුව පිළි ගැනීම නොවෙයි. පශ්චාත් නූතනවාදය යන වචනයට වඩා මෙය පශ්චාත් නූතන තත්ත්වය යනුවෙන් අර්ථකථනය කිරීමට මා කැමතියි‍. Continue reading පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්