Tag Archives: වෙළෙඳපොළ

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද සිල්වා ද ඊට සහභාගී වෙමිනි. 1970 දශකයේ අග භාගයෙන් ඇරඹි දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ එම ජාතික චින්තන සංවාදය පසුව ජනවාර්ගික ගැටුම මුල් කර ගත් දේශපාලන භූමියේ යථාර්ථයට හසුවීමෙන් වල් මත් වී ගිය ද, එතෙක් එය සිංහල පාඨක සමාජයේ බුද්ධිමය වර්ධනයට දායකත්වය සැපයූ, ප්‍රධාන ධාරාවේ පුළුල් තලයක දිගු කලක් පැවති එබඳු එකම සංවාදය යැයි කිව හැකිය. ( ඊට අමතරව කළ එබඳු වැදගත් මැදිහත් වීමක් ලෙස අපට සිහිපත් කළ හැක්කේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1982 ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා පළ කිරීම යි.) අප පහත පළ කරන්නේ ‘නූතනත්වය සහ ලාංකීය සමාජ දේශපාලන කතිකාව’ නමින් කුමුදු කුසුම් කුමාර 2002 දී ‘බලය’ සඟරාවට ලියූ ලිපි පෙළක ගුණදාස අමරසේකරයන් ‘ජාතික චින්තනය’ මුල් කොට ලියූ අදහස් පිළිබඳ සාකච්ඡවකට අදාළ කොටස් කිහිපයකි.

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය

මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථකවීමට හෝ එය ක්‍රියාත්මකවෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නගා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද, නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, ‘නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳව තමන් දරන ස්ථාවර අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහාගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීමද සිදුවෙයි. Continue reading නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත

‘ගෞරවය දිනාගැනීමට පෙර ගෞරවය ලබා දිය යුතුයි.’ තනි තනිව පුද්ගලයන් ලෙස හෝ ජාතික රාජ්‍යයක් ලෙස ගෞරවය සහ ඇගයීම පිළිබඳව කියවෙද්දී ඉහත කියමන නිතර නිතර භාවිතවූවකි. ජාතික රජයක් වෙනත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී පවත්වන ගෞරවනීය ස්වභාවය මත වෙනත් රටවල් තවත් රටක් පිළිබඳව දක්වන අවධානය සහ ඇගයීම තීරණය වේ. රටක් ලෙස ඔවුන් නිවැරදි යැ’යි විශ්වාස කරන අදහස් රටක සුභසිද්ධිය උදෙසා යොදවා, ඒ වෙනුවෙන් පෙනීසිටිමින්, ඒ සඳහා අවශ්‍යවන ක‍්‍රමෝපායන්හි වගකීම නොබියව දරාසිටීම පවා අන්‍යයන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගැනීමට හේතුවන සාධකයකි.

කිසියම් ජන කොට්ඨාසයක් පොදු සුභසිද්ධිය උදෙසා එක්ව ජීවත්වීමට තීරණය කරන තැනින් ජාතික රාජ්‍යයක් යන සංකල්පය දලූලයි. අවම වශයෙන් ජාතික රාජ්‍යයක් යන්නෙහි නුතන හඳුනාගැනීම එයයි. සිය කැමැත්තෙන් එවැනි සංකල්පයක් තුළ ජීවත්වීමට තෝරාගන්නා අයෙකු එවැනි සංකල්පයක් තුළ ජීවත්වීමට තීරණය කරන්නේ, ජාතික රාජ්‍යයක් තුළ එහි ජීවත්වන සියලූම ජනයාට එක හා සමාන ගෞරවාන්විත ජීවිතයක් ලබාදීමට එහි ව්‍යවස්ථාව සමාජයට බැඳී සිටින නිසායි. එනිසා එවැනි වටපිටාවක් තුළ පාලන තන්ත‍්‍රය කි‍්‍රයාවට නංවන ඕනෑම පියවරක් ‘සෑම දෙනාටම එක සමාන ගෞරවයක්’ යන අදහසෙහි සිට කි‍්‍රයාවට නැංවිය යුතුය. කිසියම් රටක් හෝ රජයක් මෙම ‘සමානතා’ සංකල්පය ඔස්සේ ගෞරවයට සහ ඇගයීමට පාත‍්‍ර වේ නම් එමඟින් නිරායාසයෙන්ම එහි ජීවත්වන ජනයාට සාධාරණයක් ඉෂ්ට කරයි. කිසියම් රටක පුරවැසියන් එකිනෙකාට ගෞරව කරන ආකාරය එම රට අනෙක් රටවල් අතර මෙන්ම රටේම පුරවැසියන්ගේ ගෞරවාදරය පවා ලැබීමට සමත් වෙයි. Continue reading නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත