Tag Archives: සම්ප්‍රදාය

සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

“සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින් හැරී එමි) වෙසෙසි කොට ගත යුතුය. මහජන ස්ථානයක් වශයෙන් සාප්පු සංකීර්ණය පිරිනමන්නේ සමාජශීලීත්වය හෝ සංවාදය නොව සමූහචාරීත්වයයි, එනම්, ජෝන් බ්‍රින්කර්හෝප් ජැක්සන් හොඳින් විස්තර කළ අංග ලක්ෂණය වන අනන්‍යතාවක අමුද්‍රව්‍ය සොයා තම පෞද්ගලික ගවේෂණයේ නිරත බොහෝ දෙනා එකවර පැමිණීමයි “ඉක්මනින් හෝ පසුව හෝ තමන්ගේ වෙන්වූ මාර්ගයන්ගේ ගමන් කරන විෂමජාතීය වූ මහජනතාවක් විසින් හවුලේ භුක්ති විඳිනු ලබන අවකාශීය අත්දැකීමක් ඉන් පිරිනැමේ.” තථ්‍ය ලෙසම දේශපාලන භූමිදර්ශනයක් ලෙසින් ගත් මහජන චතුරස්‍රයෙන් ජැක්සන් මෙය වෙසෙසි කොට දක්වයි, මෙහිදී, මහජන චතුරස්‍රය ට “පැමිණෙන්නවුන් තමන් සියල්ලන් ප්‍රජාවේ සාමාජිකයන්, වගකීම් සහිත පුරවැසියන් බව සහ කලින් කලට ඔවුන් මහජන සාකච්ඡා වලට සහභාගී වනු ඇති සහ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට බසිනු ඇති බව දැනටමත් හොඳින් දන්නේය යන්න උපකල්පනය කෙරෙයි.”

Continue reading සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

Advertisements

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද සිල්වා ද ඊට සහභාගී වෙමිනි. 1970 දශකයේ අග භාගයෙන් ඇරඹි දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ එම ජාතික චින්තන සංවාදය පසුව ජනවාර්ගික ගැටුම මුල් කර ගත් දේශපාලන භූමියේ යථාර්ථයට හසුවීමෙන් වල් මත් වී ගිය ද, එතෙක් එය සිංහල පාඨක සමාජයේ බුද්ධිමය වර්ධනයට දායකත්වය සැපයූ, ප්‍රධාන ධාරාවේ පුළුල් තලයක දිගු කලක් පැවති එබඳු එකම සංවාදය යැයි කිව හැකිය. ( ඊට අමතරව කළ එබඳු වැදගත් මැදිහත් වීමක් ලෙස අපට සිහිපත් කළ හැක්කේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1982 ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා පළ කිරීම යි.) අප පහත පළ කරන්නේ ‘නූතනත්වය සහ ලාංකීය සමාජ දේශපාලන කතිකාව’ නමින් කුමුදු කුසුම් කුමාර 2002 දී ‘බලය’ සඟරාවට ලියූ ලිපි පෙළක ගුණදාස අමරසේකරයන් ‘ජාතික චින්තනය’ මුල් කොට ලියූ අදහස් පිළිබඳ සාකච්ඡවකට අදාළ කොටස් කිහිපයකි.

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය

මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථකවීමට හෝ එය ක්‍රියාත්මකවෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නගා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද, නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, ‘නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳව තමන් දරන ස්ථාවර අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහාගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීමද සිදුවෙයි. Continue reading නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ

1960/70 දශකවල හැරල්ඩ් ගාෆින්කල් (Harold Garfinkal) සමඟ මානවවංශ ක්‍රමවේදය (Ethnomethodology ) ප්‍රචලිත කිරීමේ ලා මැදිහත් වූ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙකු වූ රෝයි ටර්නර්(Roy Turner) 2017 අප්‍රියෙල් 15 දින කැනඩාවේ ටොරොන්ටෝ හි දී අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කල ඔහු මිය යන විට 88 වන වියේ පසු විය.

රෝයි ටර්නර් වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහුගේ සංස්කරණයෙන් පෙන්ගුවින් ප්‍රකාශනයක් ලෙස 1974 දී පලවූ සහ ඔහුගේ පලවූ එකම කෘතිය ද වන එත්නොමෙතඩොලොජි කෘතියත් සමඟය. Continue reading රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ

මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර

“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු වශයෙන් ඒ විපර්යාසයට මැදිව ඊට හසුවී ගසාගෙන නොයන්නට තමා තුළ ඇතිවන අරගලය කවි කැඩපතක් ලෙස අප හමුවේ තබනවා. ඒ තුළ අපේ සැබෑ රූපය දකින්නට අප ජීවත්වන සමාජයේම ජන කොටස් සමාජ විෂමතාවයේ පීඩනයෙන් පරිපීඩිතව සිටීමේ, ඊට අප ඉඩ හැරීමේ ඇති ම්ලේච්ඡකම, සිතීම සඳහා අප හමුවේ තබනවා. මෙසේ වර්ධනය වන පුද්ගලවාදය, ස්වාර්ථසාධනය මුල්කරගත් බුර්ෂුවා චින්තනයත්, සමාජයේ පොදු යහපතක් පිළිබඳ අප හැම තුළ තිබිය යුතු අඩු වැඩි වශයෙන් ඇතිවන අරගලය සේකර ගවේෂණය කරනවා. ස්වාර්ථ සාධනය මතු වී, පොදු යහපත යටවීගෙන යන විට සමාජයේ ඇතිවන මිනිස් ගුණ පිරිහීම දුටු ඔහු ඒ පිළිබඳව සිතන්නට ඔහුගේ කවිය අපට පිරිනමනවා. අපට අහිමි වීගෙන යන අපේ හෘදය සාක්ෂිය ඔහු කවි කොට අපේ හදට, මනසට ඇතුළු කරනවා. තමාගේ ආත්ම ගවේෂණය තුළින් ඔහු අපේ ආත්ම ගවේෂණයට අපව කැඳවනවා. ආත්ම ගවේෂණයට මිනිසුන් තුළ ඇති හැකියාව අවදිකරනවා. මෙම ආත්ම ගවේෂණය ඇතුළු හදට හැරීමෙන් පුද්ගල විමුක්තිය පතා සමාජයෙන් අබිනික්මන් කිරීමෙන් කෙලවර වන්නක් නොවෙයි. තමාගේ සිත විමසමින් තමා හා සමාජය අතර ඇති සම්බන්ධතාවය විමසමින් කෙරෙන්නක්. වාණිජකරණය උදාවන සමාජයක සමාජ චිත්තය වසා පැතිර යන බුර්ෂුවා චින්තනය ස්වාර්ථ සාධනය පරදවා මනුෂ්‍යභාවයේ විශිෂ්ඨකම රැකගන්නට නම් ‘පොදු යහපත’ පිළිබඳ කරුණු දිගින් දිගටම සමාජ දේශපාලන කතිකාව මැදට ගෙන ආ යුතු බව සේකර තම කවියෙන් මතු කළා. Continue reading මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර