ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම
කුමුදු කුසුම් කුමාර

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද?

තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂිත කණ්ඩායමක් ලෙස රජය කල් තබා සැළකූ හෙයින් ඔවුන් විශේෂිත වැටුප් තලයක පිහිටුවන දිගු කාලීන විසඳුමක් ඉදිරිපත් කිරීම තමන් රජයට යෝජනා කරන බව මුලින් කියා සිටියේය. නමුත් ඒ වෙනුවට ඔහු පසුව නිශ්චිත නොවන මධ්‍යවාර වැටුප් යෝජනා ඉදිරිපත් කළේ තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ ඔහුගේ මුල් අදහස් වෙනස් කරගත් නිසාද? අය වැයෙන් මෙහා කිසිදු වැටුප් වැඩි කිරීමක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව රජය මුල සිටම කියා තිබුණි. නමුත් ඇමති බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් සිදුවූ සාකච්ඡාවලදී රජය වැටුප් වැඩි කිරීම පිළිබඳ කිසියම් නම්‍යශීලී බවක් ගැනීමේ ඉඩකඩ පෙනෙන්නට තිබුණි. ඒ, වැටුප් හැරුණු කොට ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් අනෙක් ඉල්ලීම් සඳහා රජය ඉදිරිපත් කළ කැබිනට් සටහනක් මත දෙපාර්ශ්වය එකඟතාවකට පත්ව සිටි තත්වයක් යටතේය.

මේ තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ප්‍රශ්නයට මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට රජය ඇතුළතින්ම එල්ල වූ විරෝධය උග්‍රවීමත් සමගය. ආචාර්ය සමිති සම්මේලනය ගාල්ලේ සිට කොළඹට ආ පා ගමනට විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු වීම මෙම විරෝධය කුළු ගැන් වූ කොටස් වලට පිටුවහලක් වූ බව පෙණුනි. ආචාර්ය සමිති සම්මේලනය ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් ඉල්ලීම් මත මෙවර වැඩ වර්ජනයට එළඹ සිටීමත් හුදු ජනාධිපති කොමිසමක් පිළිබඳ පොරොන්දුව මත ඔවුන් තම වර්ජනය අත් නොහැරීමත් මත ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරාබි වසන්තය බඳු විප්ලවයක් ගෙන ඒමේ පෙරමුණක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ යැයි රජය අර්ථ නිරූපණය කළේ බුද්ධි වාර්තා මත එවැන්නක් තමන් තරයේ විශ්වාස කරන බව පෙන්වමිනි. එනිසා අධ්‍යාපනය සඳහා රජය දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට හයක් වැය කළ යුතුය යන යෝජනාව මත ආචාර්ය සමිති සම්මේලනය වැඩවර්ජනය දිග් ගස්සන්නේ නම් එය ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරමුණින් කරන්නක් යැයි පිළිගෙන එයට එරෙහිව තම සමස්ත බලය යෙදීමට රජය තීරණය කළ බවක් එක් අවස්ථාවක දී පෙන්නුම් කෙරිණි.

මෙම අවස්ථාවේදී ආචාර්ය සමිති සම්මේලනය පරාජය කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් හැකි සියලු බලවේග සටනට කැඳවනු ලැබිණි. මෙම වැඩ වර්ජනය ආරම්භයේදී ඊට එරෙහිව එක් පුවත් පත් ලිපියක් පමණක් ලියා තම සුපුරුදු වෙනත් මාතෘකා කරා ගොස් සිටි ජාතික චින්තනවාදී ආචාර්ය නලින් ද සිල්වා යලිත් සටනට පිවිසියේ ඒ අනුවය. ‘දේශි හිතෛෂී‘ අමාත්‍ය විමල් වීරසිංහ ද මෙවර සටනට පිවිසියේ ය. ඔවුන් දෙදෙනාගේ අනුගාමික පිරිස් ද, මාඕ වාදීන්ව සිටි දේශපාලනඥයන්ද ඔවුන් හා එක්ව සටනට පිවිසියහ. ආචාර්ය සමිති සම්මේලනයේ කිසිම ඉල්ලීමක් නොදිය යුතු යැයි එම ඉල්ලීම්වල සාධාරණ භාවයට අභියෝග කරමින් විවිධ තර්ක ඉදිරිපත්කළ ආචාර්ය නලින් ද සිල්වා ආචාර්යවරුන්ගේ වර්ජනය පෙන්නුම් කළේ දෙමළ බෙදුම්වාදී – ‘ඇන්ජීඕ‘ සහ ‘ඩයස්පෝරා‘ – බටහිර කුමන්ත්‍රණ ව්‍යාපාරයේත් බෞද්ධ විරෝධී කතෝලික ව්‍යාපාරයකත් අතකොලුවක් ව ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කටයුත්ත අරමුණු කොට ගත් එකක් ලෙසිනි. අධ්‍යාපනය පිළිබඳ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් යහපත් යැයි කියන අතර ඒ පිටුපස ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කුමන්ත්‍රණයක් ඇතැයි කී විමල් වීරවංස සහ කණ්ඩායම ද මෙම වර්ජනය පරාජය කළ යුතු යැයි කියා සිටියාය. වර්ජනය අවසන් වූ පසු මෙම චෝදනාව පිළිබඳ The Island පුවත් පතේ කර්තෘ ප්‍රභාත් සහබන්දු පළකළ පහත අදහස නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් වලටද අදාළ ය. “විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සැබෑ අභිප්‍රාය රජය කී පරිදි රෙජීමය වෙනස් කිරීමක් විණි නම් ඔවුන් කවරදාකවත් සාකච්ඡා මඟින් එකඟතාවකට එනු ඇතිව තිබිණි ද? එසේ කීම ඇමති නැවැත්විය යුතුය. රජය විශ්ව විද්‍යාල ගුරුවරුන්ගෙන් සමාව අයැද සිටිය යුතුය.“

ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ යැයි අයුතු සහගත යැයි ආචාර ධර්මීය නොවේ යැයි කියමින් තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාජ තර්ක ඉදිරිපත් කිරීම නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් අනු දත් උපක්‍රමය වීය. උදාහරණයක් දක්වතොත් ආචාර්ය සමිති සම්මේලනයේ මූලික ප්‍රතිපත්ති ඉල්ලීම වූ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් රජයේ වියදම් වශයෙන් වැය කළ යුතුය යන යුනෙස්කෝ දර්ශකයට රජයේ වියදම් පමණක් අයිති නොවේයැයි රජය මුල සිටම ගෙන ගිය ව්‍යාජ තර්කය මත පිහිටා ආචාර්ය නලින් ද සිල්වා ද තෝරා ගත් උද්ධෘතයක් ගෙන හැර පාමින් එම ඉල්ලීම නිශේධ කරන්නට දැරූ උත්සාහය තම දේශපාලන අරමුණ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට ඔහු සූදානම් බව පෙන්නුම් කළේය. නොඑසේ නම් ඔහු උපුටා දැක්වීම් කළ අදාල වාර්තාවේ අධ්‍යාපනය සඳහා කෙරෙන රජයේ වියදම් සියයට 6 ක්වත් විය යුතුය යන නිර්දේශය ඇතුළත් පහත සඳහන් උද්ධෘතය ඔහුට මඟ හැරුණේ කෙසේද? “Increasing public spending on education, in place of expenditure under budget heads, should be regarded as a necessity everywhere, and especially in developing countries, since it is a vital investment for the future. As a rule of thumb, not less than 6 percent of the GNP should be devoted to education ………..“ Learning The Treasure Within Report to UNESCO of the International Commission on Education for the Twenty-First Century, Jacques Delors (p. 165) මෙහි ‘public spending‘ යනුවෙන් හැඳින්වෙන්නේ රජයේ වියදම් මිස මහජනයා පෞද්ගලිකව කරන වියදම් හෝ පෞද්ගලික අංශයේ වියදම් නොවේ.

ජාතික චින්තනවාදී නලින් ද සිල්වා සහ දේශහිතෛෂී විමල් වීරවංස සහ ඔවුන්ගේ අනුගාමිකයන් ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව ගෙනගිය මෙම ව්‍යාපාරයේ වඩාත්ම උත්ප්‍රාසජනක අංගය වන්නේ ඔවුන් ගෙනහැර පෑ එබඳු ව්‍යාජ තර්ක නොව ආචාර්යවරුන්ට එරෙහිව මෙම සටනේදී ඔවුන් ගත්තේ නව ලිබරල්වාදයේ පැත්ත වීමයි. අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන රජයේ වියදම් කපා හැරීම, රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පහත හෙළීමේ වත්මන් රජයේ වැඩ පිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ සහ ලෝක බැංකුවේ ණය ආධාර යටතේ ගෝලීය ධනවාදයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයට ආදේශ කිරීමේ ප්‍රථිපලයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය වෙනුවෙන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම තමනට පවරා ගෙන ඇත්තේ මුදල් අමාත්‍යංශ සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ය. උසස් අධ්‍යාපනයේ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇමති එස්. බී. දිසානායක භාර ගෙන ඇත. ඉතින් ලංකාව අධිරාජ්‍යවාදයේ ග්‍රහණයෙන් මුදවාලීමට ශපථ කළ ජාතික චින්තනවාදීන් සහ ලෝක බැංකුවේ ‘ප්ලග්‘ ගළවන බවට ශපථ කළ ‘දේශ හිතෛෂීන්‘ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සඳහා ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් පරාජය කිරීමට පෙරමුණ ගැනීම ඉතිහාසයේ සරදමක් නොවේද? මෙම සටනේදී නව ලිබරල්වාදී අමාත්‍ය එස්. බී. දිසානායකගේ සහායට ලංකාවේ ලිබරල් පක්ෂයේ නායකයා වන රජීව විජේසිංහත් නලින් ද සිල්වා සහ විමල් වීරසිංහ සමග එක් වීම තනන්නේ අපූර්ව මිත්‍ර පෙරමුණ ක් නොවේද?

නව ලිබරල්වාදී ධනේශ්වර මාවත ගන්නා රජයකට “කඩේ යෑම“ පිළිබඳ එල්ල වන විවේචන ගැන නලින් ද සිල්වා කියන්නේ තමා සේවය කරන්නේ රජයට නොව ජනතාවට බවයි. එමෙන්ම මෙම අධ්‍යාපන ක්‍රමය බටහිර ගැති බවත් එය සහමුලින්ම විනාශ කළ යුතු බවත් නලින් ද සිල්වා ගේ මතය යි. ජනතාව ගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම යනු යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවී ඇති තැන යළි දෙමළ බෙදුම්වාදයක් පැන නැඟීම පිළිබඳ අනියත බියකින් ජනතාව පොළඹවා මහජන සුභ සාධනය කප්පාදු කිරීමේ නව ලිබරල්වාදී විය ගසේ ඔවුන් බැඳ තබන්නට රජයට උදව් වීමද? මෙරට සාමාන්‍ය ජනයාට තම දූ පුතුන්ට ඉහළට උගන්වා තම සමාජීය ජීවිතය යහපත් කරගැනීමට තවමත් ඇති ප්‍රධානම මඟ වන රජයේ අධ්‍යාපනය විනාශ කර දැමීමට කෙරෙන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ ජනයා ජාතිකවාදයෙන් මත් කොට නිහඬ කිරීම ද?

අපගේ වත්මන් අධ්‍යාපන ක්‍රමය අපට බටහිරින් ලැබුණක් බව සැබෑය. නමුත් නිදහසින් පසු ලංකා සමාජය අද පවත්නා තත්වයට ගොඩ නැඟුණේ මෙම අධ්‍යාපනයේ පිහිටෙනි. පවත්නා අධ්‍යාපනක්‍රමයට විකල්පයක් ගොඩ නොනඟා එය සහමුලින් විනාශ කිරීමේ උග්‍ර අන්තවාදී ආස්ථානය යෝජනා කරන නලින් ද සිල්වා ඒ අර්ථයෙන් නූතනවාදියෙකි. වත්මන් රජය නිරතව සිටින්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමය විනාශ කිරීමේ කටයුත්තේ යැයි වටහා ගත් හෙයින් එම විනාශය වැළැක්වීමට කටයුතු කරන ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව තමා රජය සමග අත් වැල් බැඳ ගත්තේ යැයි නලින් ද සිල්වා කියන්නේ දැයි අපි නොදනිමු. නමුත් වත්මන් රජය පවත්නා අධ්‍යාපන ක්‍රමය විනාශ කරමින් සිටින්නේ ඊට විකල්ප ජාතික අධ්‍යාපන ක්‍රමයක් ඉදිකිරීමේ අරමුණින් නොවේ. හුදෙක් ගෝලීය ධනවාදී වෙළෙඳ පොලේ රැකියා සඳහා ශ්‍රමිකයන් බවට අපගේ තරුණ තරුණියන් පුහුණු කරන අධ්‍යාපන ක්‍රමයක් බිහිකිරීම සඳහා ය. අප කළ යුත්තේ ජාතියට මඟ පෙන්වන නව බුද්ධිමත් පරපුරක් බිහි කිරීම සඳහා පවත්නා රාජ්‍ය අධ්‍යාපනය රැක ගෙන ඒ මත අපට අවශ්‍ය නව ජාතික අධ්‍යාපනයක් ගොඩ නැංවීම යි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )