රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද?

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භවීමත් සමග සාධාරණ සමාජයක් කරා යන ගමනට බාධාකාරී ලෙස රට තුළ වර්ධනය වෙමින් පැවති සමාජ හා දේශපාලන ප‍්‍රවණතාවයන් එක්තරා උච්ඡුස්ථානයකට පැමිණි බව සියලූ ප‍්‍රගතිශීලි දේශපාලකයන්, දේශපාලන පක්ෂ හා දේශපාලන විද්‍යාඥයන් විසින් ද අවිවාදයෙන් පිළි ගනු ලැබ ඇති බැවින් ඒ පිළිබඳ දිගින් දිගට විස්තර කිරීම අනවශ්‍යයය.
අද අප ඉදරියේ ඇති ප‍්‍රධානතකම රැකගත යුතු අභියෝගය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිමයි. ඒ පිළිබඳ කරුණු කීපයක් මෙසේ දක්වනු කැමැත්තෙමි.

ප‍්‍රථමයෙන්ම අද රටේ සමස්ත සමාජ දේහය වසා ව්‍යාප්තව ඇති දූෂණයේ, නීතියේ පාලනයේ බිඳ වැටීමේ ප‍්‍රධාන සාධකය වන්නේ එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් අතළොස්සක් වෙත බලය පවරන විධායක ජනාධිපති ක‍්‍රමය බව මම ද සිතමි. එය අද ජාතිවාදය හා ආගම්වාදය හා අත්වැල් බැඳ ගත් ෆැසිස්ට් ස්වරූපයේ අධිකාරීවාදී, මිලිටරිවාදී පාලනයක් කරා රට ගෙන යමින් පවතී. එබැවින් එබඳු අනර්ථකාරී ගමනක් අත්හිටුවා රට නව මගකට යොමු කිරීම ඇරඹීමේ පූර්ව අවශ්‍යතාවය වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. කිසිදු වාමාංශිකයෙකුට, ප‍්‍රගතිශීලියෙකුට හෝ නිදහස් මතධාරියෙකුට විධායක ජනාධිපති ක‍්‍රමයේ පැවැත්මට අනුබල දෙන පියවරක් ගැනීමේ සදාචාරාත්මක අයිතියක් තිබිය නොහැකිය.

දෙවනුව, විධායක ජනාධිපති ධුරයට විරුද්ධ වන කිසිවකුටත් වර්තමාන විධායක ජනාධිපතිවරයා තෙවන වරටත් විධායක ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව සැකයක් හෝ අවිනිශ්චිතභාවයක් තිබිය නොහැකිය.

තුන් වෙනුව, එක් අතකින් අද පවතින ගජමිතුරු ධනවාදය විසින් මෙහෙයවනු ලබන අර්ථ ක‍්‍රමය තුළින් කිසිසේත් අධිරාජ්‍ය විරෝධයක් අපේක්ෂා කළ නොහැකිය. එය නව ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයටත් වඩා විකෘත වූ පාදඩ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයකි. අධිරාජ්‍යවාදයේ සහාය නොමැතිව එයට පැවතිය නොහැකිය. එබැවින් මෙම විධායක ජනාධිපති ක‍්‍රමයට සහාය දීමෙන් අධිරාජ්‍යවාදයෙන් රට මුදාගත හැකියයි සිතීම ආත්ම වංචාවකි. එමෙන්ම ව්‍යාජ අවස්ථාවාදී තර්කයකි.

සිව් වෙනුව, විධායක බලතල සහිත ජනාධිපති ධුරයේ බලය යුද්ධය ජය ගැනීමට උපකාරීවීයයි හෝ රටේ ස්ථාවරත්වය රැක ගැනීමට එම බලතල අවශ්‍යයය යන තර්කය ද එසේම පදනම් විරහිතය. සත්‍යය නම් මේ පවතින ආකාරයේ විධායක බලතල අවශ්‍ය වන්නේ නීතියේ පාලනයක් නොමැති මැර පාලනයක් පවත්වා ගැනීමට බවය. ලෝකයේ සමාජ සාධාරණයක් කි‍්‍රයාත්මක වන හැම රටකම එබඳු පරිසරයක් ඇති වීමට ප‍්‍රධාන සාධකය වී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් බිහිකරනු ලැබ ඇති යහ පාලනයයි යනු මගේ ද විශ්වාසයයි.

අවසාන වශයෙන් ලෝකයේ අනාගතය රඳා පවතින්නේ සමාජ සාධාරණය මෙන්ම පරිසරයේ සුරක්ෂිතභාවය මතය යන්න වර්තමාන විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජ ක‍්‍රියාකාරීගේ පිළිගැනීම බවට පත් වෙමින් ඇති ආකාරය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරිමට කැමැත්තෙමි. එබඳු පරිසරයක් ජනිත කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් තුළ පමණය යන්න පිළිබඳ සැකයක් නැති අතර මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීමේ ප‍්‍රධාන සාධකය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි.

මෙහි දී ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් 1949 දී ලියන ලද සමාජවාදය කුමට ද යන රචනය, 1990 දී ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා ලියූ ඉතිහාසයේ අවසානය ග‍්‍රන්ථය, 2010 දී ඔහු විසින්ම ලියූ සමාජවාදයේ පුනරාගමනයක් සිදු වේ ද? යන රචනය හා පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්වරයා අධිරාජ්‍යවාදය ගැන කරන ප‍්‍රකාශන, ඉන්දියාවේ අමර්ත්යා සෙන්, අමෙරිකා එක්සත් ජනපදයේ ජෝසෆ් ස්ටිග්ලිට්ස් මෙන්ම ප‍්‍රංශයේ තොමස් පිකෙටි වැනි වර්තමාන ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් මෙන්ම වර්තමාන ලෝකයේ විද්‍යාඥයන් පිරිසක් විසින් ප‍්‍රචලිත කරනු ලැබ ඇති එකම සෞඛ්‍යයක් හෙවත් One Health සංකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණයෙන් තොරව සමස්ත පෘථිවි තලයේම අනාගත පැවැත්මක් තිබිය හැකි ද යන ප‍්‍රශ්නය නගා ඇති ආකාරය ද අපගේ කුඩා රට මුහුණ දෙන ප‍්‍රශ්නය පුළුල් පසුතලයක් මත තබා නිරීක්ෂණය කිරීම සඳහා නව ආලෝකයක් සපයන්නේයයි සිතමි.

පසුගිය 31 වන සිකුරාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හෙවත් United Nations Human Rights Panalනමැති ආයතනය ලංකා රජය වෙත නිකුත් කොට ඇති පණිවිඩය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත ප‍්‍රකාශනයකි. එය ලංකා රජයට දන්වා ඇත්තේ රටේ ජනාධිපතිවරයාට අසීමිත බලතල පවරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසයි. අප රට සමහරුන්ගේ විවේචනයට ලක්ව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එළැඹෙන මාර්තු මාසයේ ගෙන ඒමට නියමිත යොජනාවට වඩා මෙය ප‍්‍රබල බවත් තීරණාත්මක බවත් අප අමතක කළ යුතු නැත. (”ඉදිරි ජනාධිපතිවරණයේදී මහජන න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගන්නේ කෙසේද?” මැයෙන් ඉකුත් අගහරුවාදා මරදාන සාමයික සහ සමාජීය කේන්ද්‍රයේදී පැවැති මහජන සංවාදය සභාව අමතා ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා කළ කතාව)

ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කරනු ලැබූ ‘ඇත්ත‘ පුවත් පතේ 2014 නොවැම්බර් 09 වැනිදා කලාපයෙනි.

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Leave a comment